Wednesday, December 17, 2025

ග්‍රාහකයා-Receiver

 

ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්ම සිටින්නේ නැත. ඔහු පෙරළා සන්නිවේදකයෙකු ද වෙයි. එබැවින් සන්නිවේදක කේන්ද්‍රීය ලක්ෂණ මෙන්ම ග්‍රාහකක කේන්ද්‍රීය ලක්ෂණ සලකා බැලිය යුතුය.   

ඔවුනොවුන්ගේ වෘත්තිය අනුව කොටස් කළ නොහැකිය. එම නිසා පුළුල් සමීක්ෂණවලින් නව මාධ්‍යවේදීන් විසින් තම ග්‍රහක කණ්ඩායම් ගැන අවබෝධයක් ලබාගත යුතුය. අනවබෝධයෙන් ඉදිරිපත් කරන සංදේශ ග්‍රහකයාගේ මෙන්ම සන්නිවේදකයාගේ ද සන්නිවේදකයාගේද කාලය විනාශ කර දමයි. ග්‍රාහකයාගේ ස්වභාවය ඔහුගේ දැනුම මට්ටම හා ආකල්ප අනුව වෙනස් වේ. ආකල්ප යනු කුමක්දැයි පැහැදිලි කිරීම තරමක් අපහසුය. එහෙත් ආකල්පය යන්න සමහරවිට අවබෝධය යන්නට ද වඩා වැදගත් වන අවස්ථාවන් තිබේ. ආකල්ප සරල ලෙස විග්‍රහ කරන විට මිනිසුන් සිතන පතන ආකාරයත් ඔවුන්ගේ ප්‍රතිචාර යනාදියත් ඇතුළත් වෙයි. එය අදහස් මත ආකල්ප දෘෂ්ටිය යනාදියෙන් පැහැදිලි කර ගත හැකිය. 

සන්නිවේදන ක්‍රියාවලියේ දී ආකල්ප යන්න අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරනු ලබයි.

  • සංදේශ මූලාශ්‍රය පිළිබඳ ආකල්පය
  • සංදේශය ගැන ඇති ආකල්පය 
  • ග්‍රාහකයාගේ ආකල්පය

ග්‍රාහකයාගේ ආකල්පය යනු, තමාට ලැබුණු සංදේශයෙන් අර්ථවත් යමක් අවබෝධ කර ගැනීමට හැකි වීමද ඒ තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට කොපමණ දුරට ඉවහල් වූයේද, එසේ නොමැති නම් මේ සංදේශය අර්ථ ශූන්‍ය එකක්ද යනාදී වශයෙන් ග්‍රහකයටම ඇතිවන අදහස්ය.

කිසියම් සංදේශයක් සම්ප්‍රේෂණය කිරීමට ප්‍රථම ග්‍රාහකයාගේ සන්නිවේදන චර්යාව ගැන දැන සිටීම වැදගත් වෙයි. තමාගේ සංදේශය නිර්මාණය කර ගැනීමටත් ඒ යවන විධික්‍රමය දැන ගැනීමට ජනමාධ්‍ය තෝරා ගැනීමටත් හැකි වන්නේ ග්‍රාහකයාගේ එකී චර්යාව ගැන අවබෝධයෙනි.මෙහිදී සන්නිවේදන චර්යාව යනුවෙන් අදහස් කරන්නේ ග්‍රාහකයාගේ රුචි අරුචිකම් සාරධර්ම ආකල්ප අවබෝධය යනාදී කරුණුය.

ග්‍රහකයාගේ ස්වභාවය තේරුම් ගැනීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක්ම තිබේ. එනම් තම ග්‍රාහක පිරිස කියවීමට හැකි අයද කොපමණ වෙලාවක් ඔවුන් කියවීමට ගත කරනු ලැබේද ශ්‍රවණය කරන මාධ්‍ය කුමක්ද එසේ නම් ඒ කුමන වේලාවන්හිද වඩා සමීප ජනමාධ්‍ය කුමක්ද යනාදී කරුණු ගැනත් මූලික වශයෙන් දැන සිටිය යුතුය. 

සමහර ග්‍රාහකයා ඉතා සුළු වේලාවක් කියවීමටත් බොහෝ වෙලාවක් ගුවන්විදුලිය ශ්‍රවණය කිරීමට හෝ රූපවාහිනිය හෝ නැරඹීමට කැමැත්තක් දක්වති. තවත් සමහර සිය කණ්ඩායමෙන් තොරතුරු ලබාගනිති. එම නිසා ග්‍රාහකයාට උචිත වන සන්නිවේදන විධික්‍රමය වන්නේ ජනමාධ්‍යයන් ද නැතිනම් ඒ අනුව තීරණය කළ හැකි වේ වේ. ග්‍රාහකයාගේ දැනුම ආකල්ප චින්තන රටා යනාදිය ගැන සොයා බලන විට ඔහු සතු ජීවන ප්‍රතිපදාව ගැන සැලකිල්ලක් දැක්විය යුතුය.

ග්‍රාහකයා ගැන අවබෝධ කරගැනීමේදී ඔහු පොළඹවා ගත හැකි කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මේකී කරුණු යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵල සඳහා ද භාවිතා කළ හැකිය. එහෙත් ජනමාධ්‍යවේදීන් විසින් මිනිසාගේ යහපතට හේතු වන අවස්ථා ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුය.

සටහන: හිමාෂා නෙත්මිණි 

Monday, December 15, 2025

සන්නිවේදකයා-Communicator

 

සන්නිවේදකයා යනු, සංදේශයක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයා ය. පුළුල් අර්ථයෙන් සලකා බලන විට සන්නිවේදකයා යනු පුද්ගලයකු පමණක් නොව විවිධ ආයතනයක්ද විය හැකිය. ජනමාධ්‍ය ආයතනයන් වන පුවත්පත්ත ආයතන, ගුවන් විදුලිය ආයතන, රූපවාහිනිය ආයතන සන්නිවේදක තත්ත්වයෙහි ලා සැලකිය හැකිය. සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයෙකුට සන්නිවේදකයකු වීමේ ශක්තිය තිබේ. එසේ වුවත් ජනමාධ්‍යයෙහි නියුක්ත ජනිසන්නිවේදකයන්ගේ විශේෂ ගුණාංග පවතී.එක් අතකින් සලකා බලන විට ජන සන්නිවේදකයකු වීමට පුද්ගලයකු සතු චින්තනය දෘෂ්ටිමය හා නිර්මාණාත්මක ශක්තිය බලපානු ඇත.

සන්නිවේදයකයෙකුට තම සංදේශය සකස් කර ගැනීමේ දී විවිධ තොරතුරු මූලාශ්‍ර උපයෝගී කර ගැනීමට සිදු වේ. එම මූලාශ්‍රවල ඇති තොරතුරු ඒ අයුරින්ම ග්‍රාහකයාගේ අවබෝධය සඳහා යොමු කළ හැකි පුද්ගලයා හොඳ සන්නිවේදකයෙක් ලෙස සලකනු ලබයි. එයින් අදහස් කරන්නේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමය.

යම් විෂයක් පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති උගතෙකු ජනමාධ්‍යයකින් කරුණු පැහැදිලි කරන විට ඉතාමත් දීර්ඝ වශයෙන් හෝ ගැඹුරු වශයෙන් හෝ කරුණු ඉදිරිපත් කිරීමට පුළුවනි. එබඳු අවස්ථා වලදී සන්නිවේදකයාගේ කාර්යය වන්නේ තම ග්‍රාහක පිරිසට අවශ්‍ය වන වැදගත් විෂය කරුණු එම ප්‍රවීණයාගෙන් ලබා ගැනීමයි.මේ සඳහා සන්නිවේදකයාට විෂය දැනුමත් මාධ්‍ය පිළිබඳ දැනුමත් අවශ්‍ය කරුණු මතු කර ගැනීමේ විචක්ෂණ බුද්ධියක් තිබිය යුතුය.එම නිසා සන්නිවේදකයාට මනෝවිද්‍යාත්මක දැනුමත් ප්‍රායෝගික පුහුණුවත් අවශ්‍ය කෙරේ. මෙය ඒ ඒ මාධ්‍ය අනුව වෙනස් විය හැකිය.

තම ග්‍රාහක පිරිස ගැන අවබෝධයක් සන්නිවේදකයාට අවශ්‍ය වෙයි. සමහර අවස්ථාවල ග්‍රාහක පිරිසගේ ස්වභාවය අනුව සන්නිවේදකයාගේ ආකල්ප ප්‍රතිචාර වෙනස් විය හැකිය.

සන්නිවේදකය යනු විශාල වගකීමක් හා පුළුල් ක්ෂේත්‍රයක දැනුමක් ඇති පුද්ගලයකු බව පෙනේ. ඔහු තුළ කාරුණිකත්වය, හිතෛෂීභාවය, සිත්ගන්නා සුළු බව, සාධාරණත්වය වැනි ගුණාංග තිබිය යුතුය. එසේම ජනතාවගේ විශ්වාසනීයත්වය දිනා ගැනීමත් ඔහු සතු විශේෂ ගුණයකි. සන්නිවේදකයා ජනතාවගේ විඤ්ඤාණය පෝෂණය කරනු ලබන පුද්ගලයකු නිසා නිවැරදි දෘෂ්ටිමය ලක්ෂණයන්ගෙන් ද ඔහු පෝෂණය විය යුතුය. තමා විසින් කරනු ලබන්නේ ජනතා මෙහෙවරක් බව සන්නිවේදකයා නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතුය.

සටහන:හිමාෂා නෙත්මිණි 

Sunday, December 7, 2025

ඩේව්ට් කේ.බර්ලෝ සන්නිවේදන අකෘතිය


ඩේවිඩ් කෙනෙත් බර්ලෝ සන්නිවේදන විද්‍යාඥයාගේ සන්නිවේදන ආකෘතිය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූවකි.ඔහු විසින් 1960 දී ලියන ලද 'The process of communication: An introduction to theory and practice' නැමැති ග්‍රන්ථයේදී මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.මෙහි මූලික ස්වරූපය දෙස බැලීමේදී සමාජ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ආකාරයෙන් සන්නිවේදනය අවබෝධ කර ගැනීමට දැරූ උත්සාහයක් සේ පෙනේ.

සන්නිවේදනය යනු ක්‍රියාවලියක් බව ඔහුගේ ඉගැන්වීමයි.ක්‍රියාවලියක් යනු එක් තැනක රැඳී පවතින්නක් නොව එය නිරන්තරයෙන්ම ඒ මේ අත ගමන් කරන්නකි.මහාචාර්ය බර්ලෝගේ සන්නිවේදන ආකෘතිය හඳුන්වන්නේ,S-M-C-R ආකෘතිය යනුවෙනි.

S-Source මූලාශ්‍රය (සන්නිවේදකයා)

M-Message පණිවුඩය

C-Channel නාලිය

R-Receiver ග්‍රාහකයා

01.මූලාශ්‍රය Source

යම් සංදේශයක් සකස් කර ගැනීමේදී එයට පාදක කරගන්නේ කිසියම් තොරතුරුු මූලාශ්‍රයකි.එම තොරතුරු මූලාශ්‍රය තෝරා ගැනීමේදී ඔහුගේ උත්තේජනය, රුචි අරුචිකම් ආදී ලක්ෂණ බලපෑමට පුළුවනි.මෙසේ විග්‍රහ කරන විට බර්ලෝ විසින් කරුණු පහක් දක්වා තිබේ.

  1. සන්නිවේදන හැකියාවන්
  2. ආකල්ප
  3. දැනුම
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය

සන්නිවේදන හැකියාවන්:සන්නිවේදකයෙකුගේ හැකියාවන් විග්‍රහ කළ හැකි වන්නේ ඔහුගේ හෝ ඇයගේ  ලිවීමේ ,කතා කිරීමේ ,කියවීමේ, සවන් දීමේ, සිතීමේ කුසලතාවන් පදනම් කරගෙනය.කෙබඳු සන්නිවේදකයකු වුවද තමන් සතු කුසලතාවන් ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ.

ආකල්ප: මෙය කරුණු තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.

  • තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.
  • වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
  • සන්නිවේදකයා ග්‍රාහකයා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.

දැනුම:සන්නිවේදකයෙකු සිය සන්නිවේදනයේ දී නිතරම උත්සාහ කරන්නේ සිය ග්‍රාහකයාට දැනුමක් ලබා දීමටයි.එසේ වුවත් මෙහිදී පැන නගින ගැටළු කිහිපයක් පවතී. 

  • තමා ප්‍රස්තුත කරගන්නා විෂය ගැන සන්නිවේදකයාට දැනුමක් පවතීද? 
  • එසේ නොවුනොත් අර්ථය නිසි පරිදි පෙළගස්වා ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔහුට නැත. 
  • අනෙක් අතට විෂය ගැන ගැඹුරු දැනුමක් ඇත්තෙකුටද අදාළ කණ්ඩායමට හෝ ජනමාධ්‍යයක් මගින් කරුණු ඉදිරිපත් කළ හැකිද?

මෙහිදී ඔහු භාවිතා කරන භාෂාව ජනමාධ්‍ය කාලය ගැටලු උද්ගත කරයි.සන්නිවේදන විද්‍යාඥයින් අතර මේ පිළිබඳ පවතින මත කිහිපයක් ඇත. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර සමාන දැනුම් මට්ටමක් පැවතීම අවශ්‍ය බව එක් මතයකි.අනෙක් අදහස වන්නේ සන්නිවේදකය හා ග්‍රාහකයා අතර දැනුම් පරතරයක් තිබීමද යෝග්‍ය බවයි. එසේ වූ විට ග්‍රාහකයා බැඳ තබා ගැනීමට හා විශ්වාසනීයත්වයක් ගොඩනගා ගැනීමටද එය ඉවහල් වන බවයි.

සමාජ පද්ධති: මානව සන්නිවේදන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ සමාජ පද්ධතියක් තුළය. එහිදී සන්නිවේදකයා තම සමාජ පසුබිම අනුව සංඥා ,සංකේත යනාදිය තෝරාගනු ලබයි. සමාජ පසුබිම, සමාජ තත්ත්වය, සමාජ සම්බන්ධය සියල්ල සන්නිවේදන කාර්ය හා සම්බන්ධ වේ.

සංස්කෘතිය:මානවයා තමා බිහි වූ සමාජය අනුගත වූ සංස්කෘතික සම්ප්‍රදායිකට අයත් වේ.ගෝත්‍රික, ග්‍රාමීය ,නාගරික යන කුමන සමාජ පරතරයකට අයත් වුවද ඔවුනට ආවේණික සංස්කෘතික ලක්ෂණ පවතී.බර්ලෝ සිය සන්නිවේදන ආකෘතියෙන් දක්වන මෙම ලක්ෂණය සන්නිවේදන විද්‍යාඥයන් අද බහුලව අවධානය යොමු කරන්නකි.සන්නිවේදනය සංස්කෘතියෙන් හෝ සංස්කෘතිය සන්නිවේදනයෙන් හෝ වෙන්කළ නොහැකි බව ඒ අනුව ගොඩනැඟුණු මතයකි.

02.පණිවුඩය Message

සන්නිවේදකය හා ග්‍රාහකයා අතර සම්බන්ධතාව ගොඩනැගෙන්නේ පණිවුඩය තුළිනි. පුද්ගලයන් දෙදෙනෙකු අතර සාරවත් සන්නිවේදනයක් ගොඩනැගෙන්නේ පණිවුඩයේ අන්තර්ගත ලක්ෂණ අනුවයි. බර්ලෝ පණිවුඩය විග්‍රහ කිරීමේදී කරුණු පහක් දක්වයි.

  1. මූලිකාංග
  2. ව්‍යුහය
  3. අන්තර්ගතය
  4. කේතය 
  5. ඉදිරිපත් කිරීම

මූලිකාංග: පණිවුඩයක් ගොඩනැගෙන්නේ එයට මුල් කරගන්නා යම් සිද්ධියක් අනුසාරයෙනි.එහි මූලික හරය කුමක්ද යන්න වටහා ගත යුතුය.

ව්‍යුහය: මෙයින් අදහස් කරන්නේ පණිවුඩයක් සකස්වීම, සංවිධානය කිරීම, ගොඩනැගීම යන්නයි.

අන්තර්ගතය: පණිවුඩයක් අර්ථවත් වන්නේ මෙහි අන්තර්ගත කරුණු අනුවය. අන්තර්ගතය දුර්වල වන්නේ නම් එය ග්‍රාහක අවධානයට හසු නොවේ.

කේතය: යමක් අප ප්‍රකාශ කරන්නේ සංකේත මුල්කරගෙනය. චිත්‍ර ,අකුරු ,ඉරි කැබිලි යනාදී විවිධ සංකේත පණිවුඩයක් සකස් කරන විට යොදා ගනී.එය නිර්මාණ ශිල්පියාගේ රුචිකත්වය අනුව ගොඩ නැගෙන්නෙනෙකි.චිත්‍ර ශිල්පියා සංගීත ශිල්පියා ගණිතඥයා තම අදහස් ප්‍රකාශයේ දී යොදා ගන්නා ක්‍රම වෙනස්ය.

ඉදිරිපත් කිරීම:ඉහත සඳහන් කරන ලද කරුණු හතරෙහිම සම්බන්ධතාව මෙයට පවතියි. පණිවුඩයක් ග්‍රාහකයාට යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කිරීමේ දී ආකෘතිය, අන්තර්ගතය මෙන්ම මාධ්‍යය ද වැදගත් වේ.යමක් ඉලක්ක කණ්ඩායමට කිව යුතු වන්නේ කෙසේද එහිදී යොදාගන්නා සන්නිවේදන විධික්‍රම කවරේද වඩාත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගත හැකි වන්නේ කෙසේද යනාදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

03.නාලිය Channel

නාලිය යනු යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කරන මාධ්‍යයි. තාක්ෂණික ක්‍රම භාවිතා කොට අප යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කල ද මානවයා අවසානයේ දී ග්‍රහණය කරගන්නේ තම පංචේන්ද්‍රිය තුළිනි.පංචේන්ද්‍රය නාලිය ලෙස බර්ලෝ ආකෘතියේදී දක්වා තිබේ.දැකීම ,ඇසීම ස්පර්ශය ,ආඝ්‍රහණය, රස බැලීම යනුවෙනි.ඇස කන නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රියයන් ආශ්‍රිතව නාලිකා ගැන විග්‍රහ කරයි. මේ වෙනත් සන්නිවේදන විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කළ ක්‍රමයට වඩා වෙනස් වූවකි.සන්නිවේදන විෂයේ පවතින ජීව විද්‍යාත්මක පසුබිම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම විවරණයේ වැදගත් වේ.

04.ග්‍රාහකයා Receiver

ග්‍රාහකයා පිළිබඳ විග්‍රහ කිරීමේදී කරුණු පහක යටතේ විවරණය කරයි. එහිදී 

  1. සන්නිවේදන කුසලතා
  2.  ආකල්ප 
  3. දැනුම 
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය 

යන කරුණුය.මෙයින් පැහැදිලි වන්නේ සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවයි. එක් වරෙක සන්නිවේදකයකු වන පුද්ගලයා තවත් වරෙක ග්‍රාහකයෙකු බවට පත්වෙයි. එම නිසා සන්නිවේදන ක්‍රියාවලියක් යනු, සන්නිවේදක කේන්ද්‍රීය මෙන්ම ග්‍රාහක කේන්ද්‍රීයව ගොඩනැගෙන්නෙකි.මුල් අවදියේදී සන්නිවේදකයා පමණක් ඉහළ තැනක සිටින බව පිළිගත් මතයට ප්‍රතිපක්ෂව බර්ලෝ ශ්‍රාම් වැනි විද්වතුන් විසින් දක්වන ලද විග්‍රහයක් ලෙස මෙය හැඳින්විය හැකිය.බර්ලෝ තවදුරටත් විග්‍රහ කරන්නේ ග්‍රාහකයාගේ පවත්නා අධ්‍යාපන සමාජ සම්බන්ධතා සංස්කෘතික පසුබිම යනාදී කරුණද සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වන බවයි.

සටහන: හිමාෂා නෙත්මිණි 



Thursday, December 4, 2025

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය

අධිපතිවාදී සංකල්පය ක්‍රි.පු 407-327 දක්වා ජීවත් වූ ප්ලේටෝ නම් දාර්ශනිකයා මෙන්ම 1587-1679 කාලය තුළ ජීවත් වූ චින්තකයන්ගේ අදහස් වලින් පෝෂණය වී ඇත.අතීතය මෙන්ම වර්තමානයේදීත් පාලකයන් තොරතුරු ආධිපත්‍යය ඔවුන් විසින් නතුකර ගැනීමට සෘජුවම හෝ වක්‍රවම කටයුතු කර ඇත අධිපතිවාදී සන්නිවේදන සංකල්පය වඩාත් පැරණි සංකල්පයකි.

මෙයින් අදහස් කරන්නේ සමාජවල සිටින නායකයින් පාලකයන් විසින් සන්නිවේදන කටයුතු හා ජනමාධ්‍ය පාලනය කර ඇති බවයි.ගූටෙන්බර්ග මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ ලිඛිත සන්නිවේදනය ඉතා ප්‍රබල වෙනසකට භාජනය විය. සමාජය පුරා තොරතුරු ගලා යාම පුළුල් විය. එතෙක් ඉතා සුළු පිරිසක් අතර පැවැති ලේඛන පරිහරණය මුද්‍රණ යන්ත්‍රය නිසා ජනතාව අතරට පත්විය. ඒ සමාජයේ මෙහෙයවන පාලකයන්ට මහත් තර්ජනයක් කිරීමට සමත් විය එම නිසා රටේ පාලකයාට හිතකරවන සේ පක්ෂපාති වීම මගින් තොරතුරු ප්‍රචාරණය කිරීමට මෙහෙයවීමට සිදුවිය. 

පැරණි ජන සමාජ වලින් මෙකී මූලික ලක්‍ෂණ
දක්නට ඇත.ඉහළ සිට පහළට ගලා එන ජන සන්නිවේදන හා මාධ්‍ය ක්‍රම ප්‍රජාතාන්ත්‍රික සමාජය තුළ පහසුවෙන් හඳුනා ගත හැකිය. සීමිත පිරිසක් විසින් පාලනය කරයි. විරෝධී ආකල්ප හා විරෝධී දේශපාලන අදහස් පැවතිය නොහැකිය. රජයේ මතවාද ප්‍රශ්න කරන විට දඬුවම් දීමට පියවර ගනියි. මාධ්‍ය වුවද පවතින ආධිපත්‍යයට නතුවිය යුතුය.
    උදාහරණ: ජර්මනියේ හිට්ලර්ගේ පාලනය

අධිපතිවාදය සන්නිවේදන සංකල්පයේ ක්‍රියාත්මක වන රටවල දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
  • රජුගේ හෝ බලපෑම් කණ්ඩායම් යටතේ සන්නිවේදනය ක්‍රියාවලිය හෝ මාධ්‍ය ක්‍රියාවලිය පාලනය කිරීම.
  • ජනමාධ්‍ය තුළ ඉහළ සිට පහළ ධූරාවලියක් ලෙස තොරතුරු ගලා යාම.
  • කතෘ මණ්ඩලයේ පාලනය කිරීම.
  • නීතිමය ක්‍රියාමාර්ග හා මාධ්‍ය පාලනය කිරීම.

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා ක්‍රම උපායන් පවතී. එනම් 
  • බලපත්‍ර ක්‍රමය 
  • වාරණය කිරීම
  • මැදිහත්වීම 
  • දඬුවම් දීම
  • බදු පැනවීම
  • කර්තෘ මණ්ඩලය මගින්
බලපත්‍ර ක්‍රමය
අධිපතිවාදී සංකල්පයේ දී බලපත්‍ර ක්‍රමයක් භාවිතා කළ යුතුය. අධිපතිවාදී සංකල්පයේ දී අවසර ගැනීම සඳහා බලපත්‍ර ලබාගත යුතුය.
අධිපතිවාදී සංකල්පය සමග එම රටවල බලපත්‍ර ක්‍රමය ආරම්භ විය.මුල් කාලීනව පුවත්පත ප්‍රචලිත වූ අතර රජය මඟින් ලබා දෙන බලපත්‍රයේ සෑම පුවත්පත්  හිමියෙකුගෙම ළඟ තබා ගත යුතුය. රජයට හානිකර හෝ පාලකයන්ට හානිකර පුවත් පල කිරීමෙන් බලපත්‍රය අහෝසි වේ. මෙමගින් රජය මගින් මාධ්‍ය පාලනය කරනු ලබයි.
ගුවන් විදුල සේවයක් පටන් ගැනීමට පුද්ගලයකු බලපත්‍රයක් ලබාගත යුතුයි. එම ලබාදෙනු ලබන්නේ සීමිත පිරිසකටය.එම සීමිත පිරිසට අයිති වන්නේ ජනාධිපතිතුමාගේ නෑදැයින් අසල්වාසීන් සහ නිලධාරීන්ය.

වාරණය 
වාරණය මගින් යම් ක්‍රියාවලියක් නවතාලීමට හැකිය. නීතිමය වාරණය හෝ නීතිමය නොවන වාරණය පවතී. අධිපතිවාදී සංකල්පයේ ලක්ෂණයක් ලෙස වාරණය පෙන්වාදිය හැකිය.එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් මුල් කාලීනව පුවත්පත සම්බන්ධව මෙම වාරණය ක්‍රියාත්මක විය. මෙහිදී ග්‍රාහකයා කුමක් ලබාගත යුතු ද යන්න පාලකයා තීරණය කරනු ලබයි. මෙහිදී අහිතකර පාලකයන් විසින් නවතා දැමීම හෝ වෙනස් කිරීම සිදු කරනු ලබයි

දඬුවම් දීම
අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වීමේදී යොදාගත් උපක්‍රමයක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.මෙහිදී අධික දඩ නියම කිරීම, සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලබාදීම දක්නට ලැබුණි.රජයට පක්ෂපාතීව කටයුතු නොකරන වූවන්ට දඬුවම් විඳීමට විය.

බදු පැනවීම
පාලකයන් තම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විවිධ ක්‍රම වලින් උපයාගත්  බදු මුදල් භාවිතා කළේය.අධිපතිවාදී  සන්නිවේදන සංකල්පයේ දී ආදායම ලැබීමට අමතරව මාධ්‍ය කටයුතු පාලනයට බදු පැනවීම විය. මෙම බදු පැනවීම තුළින් මාධ්‍ය ආයතන බිහිවීම සීමා විය තෝරා ගත් වැඩසටහන් හා පුවත්පත් සඳහා වෙන වෙනම බදු පැනවීමෙන් මාධ්‍ය පාලනය විය.

සටහන:හිමාෂා නෙත්මිණි 

Tuesday, December 2, 2025

සන්නිවේදන සංකල්ප


තාක්ෂණික විධික්‍රමයන්ගේ වර්ධනය නිසා අද ලෝකයේ කොතනක හෝ සිදුවන සිද්ධියක් වාර්තා කිරීමේ ශක්තිය ජන සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එසේම විකාශනය වන එකී ප්‍රවෘත්තිවල හැඩය ද විවිධ වර්ණයන්ගෙන් සමන්විත වන බව දක්නට ලැබේ. ලෝකයේ සිදුවන සිද්ධීන් සංස්කෘතික මෙන්ම දේශපාලනික ගැටලු නිසා වාර්තා විය යුතු දේ අමිහිරි ලෙස වාර්තාවන බව දක්නට ලැබේ.

සෑම සමාජයකම පවතින නීති රීති හා අවශ්‍යතාවයන්ට අනුව ජනමාධ්‍ය පාලනයක් දක්නට ලැබේ. ඒ රටක පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය මත තීරණ වේ. සමාජය ක්‍රියාකාරීත්වය දෙස බලන විට එහි ජනයාගේ ස්වභාවය හා ජනතාව හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාව ජනමාධ්‍ය ව්‍යුහය සකස්  වීමෙහිලා බලපාන බව පෙනේ.ජනමාධ්‍ය හා සමාජය අතර දැඩි සම්බන්ධතාවයක් ගොඩනැගීමත් එයින් ඇති වූ විවිධ අදහස් මතිමතාන්දර නිසාත් මෙම සංකල්ප ගොඩනැගී ඇති බව දක්නට ලැබේ. සන්නිවේදන සංකල්ප අපි විග්‍රහ කර බැලිය යුත්තේ ජනමාධ්‍යයන්ගේ ස්වභාවය වටහාගැනීම සඳහාය. එබැවින් ඒ සඳහා බලපාන ලද ඓතිහාසික හා දේශපාලන ලක්ෂණයන් ද අවධානයට යොමු විය යුතුය.ඒ ඔස්සේ ජන මාධ්‍ය ව්‍යුහය පාලනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සන්නිවේදන සංකල්ප පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින් හඳුන්වා දී තිබේ.

සංකල්පයක් යනු, න්‍යාය යන්නයි. සන්නිවේදන සංකල්පයක් ලෙස හඳුන්වන්නේ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව හෝ කිසියම් කරුණක් සියලුම කරුණු හෝ කිසියම් කරුණක් සලකා බැලීමෙන් ඇති කරනු ලබන නිශ්චිත අදහසකි. සන්නිවේදන ක්‍රියාවලිය එක් අතකින් තාක්ෂණික ක්‍රියාවලියක ප්‍රවණතා මෙන්ම විවිධ මතවාදී බලපෑම්වලට ලක් වෙමින් වර්ධනය වූවකි.සන්නිවේදන ක්‍රියාවලිය හසුරවන්නා විසින් බෙදා හරින සංදේශ මගින් සමාජයට කෙබඳු බලපෑමක් සිදුවන්නේ ද යන්න විමසිලිමත් වේ. එය ඔවුන් විශ්වාස කරන අනුගත වන මතවාද තුල සිදුවන්නකි.

සන්නිවේදන සංකල්ප හයක් ගොඩනැගී ඇත.

  1. අධිපතිවාදී සන්නිවේදනය සංකල්පය
  2. නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
  3. සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
  4. සමාජ වගකීම් පිළිබඳ සන්නිවේදන සංකල්පය
  5. ප්‍රජාතාන්ත්‍රීකරණ සන්නිවේදනය සංකල්පය
  6. සංවර්ධන සන්නිවේදන සංකල්පය

1956 දී Four Theories of the press යන ග්‍රන්ථයෙහි රචකයන් වන විල්බර් ශ්‍රාම්,Theodore Peterson,පීබර්ට් යන අයයි.ඔවුන් තිදෙනාම ඇමරිකානු ජාතිකයන් වන අතර ඇමරිකානු දෘෂ්ටිකෝණයෙන් රචනා කර ඇත. එම කෘතියේ සඳහන් වන්නා වූ සන්නිවේදන සංකල්ප හතර වන්නේ.

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය, ස්වාධීනතා සන්නිවේදන සංකල්පය, සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය, සෝවියට් කොමියුනිස්වාදී සන්නිවේදන සංකල්පය

මේ සංකල්ප අතුරින් අධිපතිවාදී සංකල්පය ඉතාමත් පැරැණි වූත් ලෝකයේ දැනට බහුලව පැතිර පවත්නා වූත් සංකල්පයක් ලෙස සැලකිය හැකිය. කොමියුනිස්, සංසංවර්ධනාත්මක සංකල්පය විසි වැනි සියවසේ දෙවැනි දශකයේදී පමණ බිහි වූවකි. බටහිරවාදී සංකල්පය මෑතකදී හඳුන්වාදුන් ලැබුවාත් එහි අන්තර්ගත ලක්ෂණ මහාචාර්ය විල්බර් ශ්‍රාම් හඳුන්වා දුන් සන්නිවේදන සංකල්පය හතරෙහි අඩංගු වී ඇත.මේ සංකල්පවල අන්තර්ගත ලක්ෂණ බටහිර මතවාදයක් හා සමාජවාදී මතයන් පදනම් කරගෙන රාජ්‍යතන්ත්‍රී පාලනය කිරීමේ අරමුණු ඇතුව බිහි වූවකි. සංවර්ධනාත්මක සංකල්පය තුන්වැනි ලෝකයේ පවතින හීන වූ මාධ්‍ය සම්පත් නිසා ඒවායේ උද්ගතවන ගැටලු හා දුෂ්කරතාවයන් පදනම් කරගෙන ප්‍රභවය වූවකි. මේ සියලු සංකල්ප වල අන්තර්ගත ලක්ෂණ විශ්ලේෂණය කරන විට පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් රටක පවතින දේශපාලන බලපෑම් හා විවිධ වූ සංවිධානයන්හි ඇති අනුග්‍රහය හා පරිපාලනයට ජනමාධ්‍ය යට වී ඇති බවය.

සන්නිවේදන සංකල්ප තුළින් පැහැදිලි වන්නේ ද රටක දේශපාලනයේ ජනතාකරණය කරන ලදයි කියනු ලබන ජනමාධ්‍ය ආයතන රාජ්‍ය පාලනයට හසු වී ඇති බව පැහැදිලිව දක්නටට ලැබේ. එම නිසා රාජ්‍ය පාලනයට යටත්ව පවතින සමාජය අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති පාලනයද සිදු වේ.ජන මාධ්‍ය සම්බන්ධව විවිධ සංකල්ප බිහි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සටහන: හිමාෂා නෙත්මිණි 

Tuesday, November 25, 2025

දොරටුපාල සංකල්පය

(ඩේවිඩ් මැනිං වයිට්ගේ දොරටුපාල සංකල්පය)

සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා විසින් ග්‍රාහක ගත කරන පණිවිඩය යම් වාරණ ක්‍රියාවලියකට භාජනය වේ. මේ පිළිබඳ මූලික අදහස් දැක්වෙන සංකල්පයක් ලෙස ඉහත දැක්වෙන වයිට්ගේ දොරටුපාල සංකල්පය පෙන්වා දිය හැකිය.

දොරටුපාලක විසින් විවිධ ආකාර ලෙස සංදේශ වාරණයකට ලක් කරනු ඇත. සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරන සියලුම සංදේශ සංදේශ ග්‍රාහකයා වෙත ලැබෙන්නේ නැත. එනම් සංස්කරණයේ දී හෝ රූප රාමුවල ගුණාත්මක බව පිරික්සීමේදී හෝ ඇතැම් සංදේශ ඉවත්වීමක් සිදුවිය හැක.මීට අමතරව විවිධ වාරණ මණ්ඩල මගින් වාරණ බලධාරීන් මගින් ද ප්‍රවෘත්ති පාලනයකට ලක් කෙරේ.

උදාහරණ:යුද්ධය පැවති සමයේ යුධ පුවත් වාරණය.

ඩේවිඩ් මැනිං වයිට් විසින් හඳුන්වා දෙන ලද මෙම සංකල්පයේ ජනමාධ්‍ය කරණය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රවෘත්ති මූලිකාංගයකින් N1,N2,N3,N4 යනාදී වශයෙන්  තෝරා ගන්නා ලද ප්‍රවෘත්ති මූලිකාංග හතර ජනමාධ්‍ය ආයතනයක දොරටුවක් (Gate)මගින් තෝරා ගැනීමකට ලක්කර ඇත එහිදී N2 සහ N3 යන ප්‍රවෘත්ති මූලිකාංග පමණක් තෝරා ගෙන ග්‍රාහකයා වෙත ලබාදීමට කටයුතු කර ඇතිය අතර N1 සහ N4 යන ප්‍රවෘත්ති මූලිකාංගයන් ජනමාධ්‍ය ආයතනයේ දොරටුව විසින් බැහැර කර ඇත.

ජනමාධ්‍ය ආයතනයක දොරටුව නියෝජනය කරන දොරටුපාලකයින් ගණනාවකි.එනම් අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, සංස්කරණ ශිල්පියා සෝදුපත් බලන්නා යනාදී සෑම භූමිකාවක්ම එහි දොරටු පාලකයෝ වෙති.

✍️හිමාෂා නෙත්මිණි 

Thursday, November 13, 2025

සංවර්ධනය සඳහා සන්නිවේදනය

Communication for Development

"සංවර්ධනය සඳහා සන්නිවේදනය" යනු රටක හෝ ප්‍රජාවක පුළුල් හා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සන්නිවේදන ක්‍රියාවලි සහ මෙවලම් උපායශීලීව යොදා ගැනීමයි.මෙය ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරුවට වඩා, සංවාදය සහ සහභාගීත්වය මූලික කරගත් සමාජ ක්‍රියාවලියකි.

සංවර්ධනය සඳහා සන්නිවේදනය නිර්වචන

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය-

"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, සංවාදය සක්‍රීය කරවන ද්වීමාර්ග සන්නිවේදන පද්ධති මඟින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ සහ උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියට අදාළ තීරණ වලට සහභාගීව මැදිහත් වීමයි."

රෝම සම්මුතිය-

"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිතා කරමින් සංවාදය මත පදනම් වූ ක්‍රියාවලියකි. එසේම දැනුම නිපුණතා බෙදා හදා ගැනීම ගොඩනැගීම මෙන්ම ප්‍රතිපත්ති ,විවාද සහ ස්ථීරසාර වූ සංවර්ධනයක් සඳහා සවන් දීම, විශ්වාසය ගොඩනැගීම සහ විවිධ මට්ටම්වල වෙනස්කම් හඳුනා ගැනීමයි. එය මහජන සම්බන්ධතාවය හෝ ආයතනික සන්නිවේදනය නොවේ."

ස්වීඩනයේ මැල්මෝ විශ්ව විද්‍යාලය-

"ගෝලීයකරණ සන්දර්භයෙ හි සංවර්ධනය සඳහා සන්නිවේදනයේ භාවිතය යනු සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රමයකි."

සිල්වියෝ වයිස් බෝට් විසින් සංවර්ධනය සඳහා සන්නිවේදනය ප්‍රායෝගිකභාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් පහක් හඳුනාගෙන තිබේ.

-කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම.(පුද්ගලයන් හා ප්‍රජාවන් දැනුම අත්පත් කර ගැනීම හා ගැටුම් සම්පාදනය කිරීම)

-ඉහළ පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම.

-සන්නිවේදන මෙවලම් භාවිතා කිරීම.

-පුද්ගලාන්තර හා ජන සන්නිවේදනය අතර සමබරතාව නිර්මාණය කිරීම.

-පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය දීම.

ශ්‍රීනීවාස් මෙල්කෝට් සංවර්ධනය සඳහා සන්නිවේදනය යනුවෙන් දක්වා ඇත්තේ,

-විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසඳුම් සොයා ගැනීම.

-මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම.

-ආගමික බැඳීම් වලින් තුන්වැනි ලෝකයේ විමුක්තිය ලබා ගැනීම.

-සන්නිවේදනය සහ සමාජ ව්‍යුහය පිළිබඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම.

-තුන්වෙනි ලෝකයේ සංවර්ධනය සඳහා සන්නිවේදනය වැඩිදියුණු කර ගැනීම පිණිස යෝජනා හා ඒවා සිදුකළ හැක්කේ කෙසේද යන යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරෙන් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීමයි.

✍️ හිමාෂා නෙත්මිණි 


Wednesday, November 12, 2025

මාධ්‍ය සංස්කෘතිය

සමාජය තුළ මාධ්‍ය පරිහරණය බහුල වීම නිසා ඒ හා බැඳුණු සමාජ චර්යා රැසක් පහළ විය. එම ජීවන වෙනස්කම මාධ්‍ය සංස්කෘතිය ලෙස හඳුනා ගනී.නව භෞතික සම්පත් සමාජය තුළට දායක වන්නා සේම නව සමාජ චර්යා රටාවන්ද ඒ තුළින් ඇති වේ. පෙර මිනිසුන් ජනශ්‍රැතිය හා බැඳෙමින් ජීවත් වුවද මාධ්‍ය සංස්කෘතිය ඇතිවීමත් සමඟ චර්යාත්මක වෙනස්කම් රැසක් සිදුවිණි.

ආකල්පමය වෙනසක්ද මාධ්‍ය සංස්කෘතිය තුළින් ඇති වේ. මිනිසාට දැනුම පිපාසාව තොරතුරු පිපාසාව මාධ්‍ය සමාජයට හඳුන්වා දීම නිසා ඇති වූවකි. මේ අනුව ලොව වටා රට වටා තොරතුරු එක් රැස් කරගෙන විවිධ විෂය කරුණු වලින් පරිණත වී බුද්ධිමය විමසුමකින් ජීවත් වීමට මාධ්‍ය පරිශීලනය තුළින් හැකි විය. මේ තුළින් තොරතුරු ලොවක අප ජීවත් වන්නා යන ආකල්පය වෙනස ජනතාව ලබා ගනී.

මාධ්‍ය සංස්කෘතිය මානව පරිණාමයේ මෑතක දී බිහි වූ සංස්කෘතික ස්වරූපයකි.මෙය විසිවන සියවස මැද බිහිවූ සංස්කෘතිකවේදී විෂයේ අංගයක් ලෙස මාධ්‍ය සංස්කෘතිය නම් විෂය බිහිවී වර්ධනය වී ඇත. මාධ්‍ය සංස්කෘතිය යනු මාධ්‍ය බිහිකළ සංස්කෘතිය යන්නයි. මිනිසාගේ කාලීන සමාජ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මාධ්‍ය විසින් එකී මිනිස් අවශ්‍යතා පෝෂණය කරමින් ඒ මත තත්ත්වාරෝපණය වෙමින් මාධ්‍ය පුද්ගල ජීවන රටාව මාධ්‍යයට අවැසි පරිදි ගොඩනැංවීම තුළ මාධ්‍ය සංස්කෘතිය බිහිවිය.

ලෝක සංස්කෘතික අධ්‍යයනයෙන් ළදරුවෙකු ලෙස මාධ්‍ය සංස්කෘතිය නම් වූ පාරිභාෂිත පදය බිහි වන්නේ විසිවන සියවසේ තෙවන කාර්තුවේ දී. මෙය සමකාලීන සංස්කෘතියේ සුවිශේෂී අංගයකි.විසිවන සියවස වන විට මාධ්‍ය යන වචනයේ සංස්කෘතිය අංග අර්ථවත් කිරීම සඳහා යොදා ගැනේ. සංස්කෘතියන් නිර්මාණය වී ඇති දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, නීතිය, සදාචාරය යනාදී අනේක විධි සාධකයන්ගේ තොරතුරු ජන සංස්කෘතිය පුරා ව්‍යාප්ත වීම තුළ ගොඩනැගෙන සංස්කෘතිය මෙය වේ.වෝල්ටර් බෙන්ජැමික් විසින් විසිවන සියවසේ දී මාධ්‍ය සංස්කෘතිය සඳහා අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය කරන ලදී.

සමකාලීන මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කළ මාෂල් මැක්ලුහන් මෙම සංකල්පය පෝෂණය කිරීමෙහිලා විශාල දායකත්වයක් සැපයීය.ඔහු විසින් මෙහිදී අංශ කිහිපයක් අධ්‍යනය කරනන ලදී.

  • මාධ්‍ය හා සමාජය                                        
  • මාධ්‍ය හා සංස්කෘතිය 
  • මාධ්‍ය හා සංදේශ 
  • මාධ්‍ය හා අර්ථ 
  • මාධ්‍ය හා මාධ්‍ය සංදේශ සංජානනය

මාෂල් මැක්ලූන්ගේ මාධ්‍ය සංස්කෘතික සංකල්පයට අනුව මුළු මානව ශිෂ්ටාචාරයේ ප්‍රධාන අවධි තුනකට බෙදා දක්වා ඇත.

  • ප්‍රාග් ලිඛිත සංස්කෘතික අවධිය
  • ලිඛිත මුද්‍රිත අවධිය
  • දෘශ්‍ය අවධිය

මාෂල් මැක්ලුහන්ගේ මාධ්‍ය සංස්කෘතික සංකල්පය ඉතා සංකීර්ණ සංකල්පයක් වන අතර පුළුල් ස්වභාවයක් ගනී. මිනිසාගේ මිනිස් ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වන මෙන්ම ආධාර වන සියලුම මාධ්‍යයන් මෙම යුග තුනට අදාළ වේ. මෙකී සියලු මාධ්‍ය ඔස්සේ සිදුවන්නේ මිනිසාගේ සංවර්ධනයකි. බාහිර ප්‍රසාරණයකි. මිනිසාගේ පංචේන්ද්‍රියන්ගේ සංවේදී ශක්‍යතා වර්ධනය වන වනාහි ප්‍රසාරණය ඔස්සේ එකී ශක්‍යතා මිනිසාගේ ඉවත්වී මිනිසාට එරෙහි බාහිර බලයක් ලෙස ක්‍රියා කරයි. මේ ආකාරයෙන් මාධ්‍ය පුද්ගලයා ආක්‍රමණය කිරීම මාෂල් මැක්ලුහන් අංග ඡේදනය නමින් අර්ථ දක්වයි.

මාධ්‍ය සංස්කෘතිය යනු" පුද්ගලයා සමාජානුයෝජනය කිරීම සඳහාත් සමාජය මතය හැඩ ගැසීම සඳහාත් උපකාර වන මානවයා විසින් මානව පරිණාමය තුළ නිර්මාණය කරන ලද තොරතුරු සන්නිවේදන මාධ්‍යයන්ගේ සම්ප්‍රේෂණයයි."මෙය තවත් ලෙසකින් පෙන්වා දෙන්නේ නම් " විවිධ මහද්වීප හා රටවල් අතරද පුද්ගලයා හා සමාජය අතර ද රාජ්‍ය හා සමාජය අතරද සක්‍රීයව ක්‍රියා කරන තොරතුරු සන්නිවේදනාත්මක මාධ්‍යයන්ගේ සමස්තයයි."

✍️හිමාෂා නෙත්මිණි 


Sunday, November 9, 2025

සංස්කෘතිය CULTURE

සංස්කෘතිය යනු, මිනිසාගේ ජීවන ක්‍රමයයි. සංස්කෘතියන් නිර්මාණය වූයේ හා වර්ධනය වූයේ මානවයාගේ මානව සම්බන්ධතාවන්හි ප්‍රතිඵලය මත වෙයි. මානවයා මිහිපිට පහළ වූ මුල් කාල වකවානුවක් අශීලාචාර අශිෂ්ඨ හා මිලේච්ඡ ස්වභාවයක් ගැනිණි. එබැවින් ඊට ප්‍රති පාර්ෂවයත් විකල්පයක් වශයෙන් සංස්කෘතිය නම් සම්භාව්‍ය ජීවන රටාවකට මිනිසා අනුගත විය.එය සංස්කෘතිය නම් විය. මිනිසා සහ සත්වයන් එකිනෙකට වෙනස් කොට හඳුනාගත හැකි මූලික සාධකය වන්නේ මිනිසාට පමණක් හිමි සංස්කෘතිය හේතුවෙනි.

සංස්කෘතිය ගතික වේ. එකී ගතිකත්වය මිනිස් ලැදිය හා අවශ්‍යතා මත තීරණය වේ. සංස්කෘතිය යනු ප්‍රකෘතියේ විකෘතියකි. ප්‍රකෘතිය යනු ස්වභාවධර්මයයි. විකෘතිය යනු සමාජයයි. ප්‍රකෘතිය නියමයන්ට සීමා නොවෙමින් විකෘතිය නොහොත් සමාජයට අදාල නියමයන්ට අනුව ජීවත්වීම සංස්කෘතිය ගොඩනැගේ. ඒ අනුව ප්‍රකෘතිය මානව අවධානයට හා ක්‍රියාකාරීත්වයට නතුවීමෙන් ගොඩනැගෙන සියලු වටිනාකම් සංස්කෘතිය ලෙස හදුන්වයි.

සංස්කෘතියක් හැඳින්වීම සඳහා Culture යන පදය භාවිතා කෙරේ.Culture ලතින් පදයෙන් බිඳී ආවකි. එහි අර්ථය වගා කිරීම, පිළිසකර කිරීම,රෝපණය කිරීම යන්නයි. මාකස් පර්සියස් කැටෝ විසින් එම වචනය කෘෂිකර්මාන්තය සඳහා Agriculture ලෙස යොදාගෙන ඇත  නමුත් රෝම කථිකයෙකු, දාර්ශනිකයෙකු ,රාජ්‍ය පාලකයෙකු වූ මාර්කස් මූලීස් සීසර් විසින් මානව අධ්‍යාත්මයට සමාන වචනයක් ලෙස මෙය භාවිතා කරන ලදී. ඔහු විසින් සංස්කෘතිය ආත්මය හා බුද්ධියෙන් දර්ශනය ලෙස සැලකූ අතර මිනිසාගේ බුද්ධිය හා ආධ්‍යාත්මය පරිපූර්ණත්වයට පත් කිරීමේ ගුණයක් සංස්කෘතියට ඇති බව සීසර් පෙන්වා දෙන ලදී.

සංස්කෘතය යනු කුමක්ද පැහැදිලි කිරීම සඳහා විවිධ සන්නිවේදන විද්වතුන්, දාර්ශනිකයන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. එනම් එඩ්වඩ් ටයිලර්, බී.මැලිනොව්ස්කි, රැල්ෆ් ලින්ටන් මේ අතර වෙයි. 

සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියකි.  සමාජයේ එකිනෙකට බැඳ තබනු පොදු වටිනාකම්, විශ්වාස ආදී සෑම සමාජ ක්‍රියාකාරකමක් ම සංස්කෘතියට අදාළ වේ.මිනිසා යන එන, කන බොන, අඳින පළඳින, හැසිරෙන, කතාබහ කරන සෑම සමාජ ක්‍රියාකාරකාමක්ම සංස්කෘතියට අදාළ වේ.

සංස්කෘතික නිර්වචන

ඊ බී ටයිලර්

"දැනුම, ඇදහිලි, විශ්වාස, නීතිය ,කලාව සදාචාරය ,සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් සාක්ෂාත් කරගත් පුරුදු පුහුණු හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි."

බී. මැලි නොව්ස්කි

"උපකරණ ,පාරිභෝගික ද්‍රව්‍ය ,විවිධ සමාජ සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තයයි"

Dynamic Of Mass Communication

"සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියකි සමාජය එකට බැඳ තබන පොදු වටිනාකම් විශ්වාස සමාජ ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ."

හිමාෂා නෙත්මිණි 

Saturday, November 8, 2025

මහජන සම්බන්ධතා නිර්වචන


වෙබ්ස්ටර්  නව කොලීජීයෙට් ශබ්ද කෝෂය(Webster New Collegiate Dictionary)

"මහජන සම්බන්ධතා යනු, පුද්ගලයකු සමාගමක් හෝ ආයතනයක් පිළිබඳ දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා ජනතාව පොළඹවනු ලබන්නා වූ ක්‍රියාදාමයකි."

එඩ්වට් එල්.බර්නීස් (Edward L.Bernays)

"මහජන සම්බන්ධතාවය යනු යම් ආයතනයක් සම්බන්ධයෙන් සංදේශ විකාශනය කිරීමට හා ඒවා මගින් මිනිසා පෙළඹවීමට යම් මතයක් කරුණක් ,සිද්ධියක්, ව්‍යාපෘතියක් ඇති කිරීමට හා හැඩ ගැසීමට උපකාරී වන විෂයකි."

චාල්ස් ප්ලැකාඩ් (Charles Placard)

"යහපත් සිතින් යුතුව මානව සදාචාර සම්පන්න භාවය ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මහජන සම්බන්ධතා ලෙස සරලව හැඳින්විය හැකිය."

සෑම් බ්ලැක් (Sam Black) 

"කිසියම් සංවිධානයක් සබඳතා පවත්වන අභ්‍යන්තර හා බාහිර සියලු දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා කරනු ලබන සෑම දෙයක්ම මහජන සම්බන්ධතා නම් වේ."

බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනය (British Chartered Institute Of Public Relationship)

"සංවිධානයක් විසින් ඒ හා බැඳී පවතින මහජනතාව අතර හොඳ හිත හා අවබෝධ ඇති කිරීම හා එය පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත මෙන්ම ස්ථීරසාර උත්සාහ මහජන සම්බන්ධතා වේ."

✍️හිමාෂා නෙත්මිණි 

Friday, November 7, 2025

මහජන සම්බන්ධතා

මහජන සම්බන්ධතා යන්න සරලව හඳුන්වන්නේ කීර්තිමත් නාමයක් ඇති කිරීම සඳහා පුද්ගල අදහස් සහ හැසිරීම් වලට බලපෑම් කිරීම  යනුවෙනි. හොඳ හිත අන්‍යෝන්‍ය අවබෝධය ස්ථාපනය කිරීම, පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගතව ගන්නා වූ ස්ථීරසාර ප්‍රයන්තයක් ලෙස මහජන සම්බන්ධතා හැඳින්විය හැකිය. මහජන සම්බන්ධතා යන්නෙන් සමාන හා පොදු අවශ්‍යතා සහිත පුද්ගලයෝ සමූහයක් නියෝජය වෙති. ඔහු විවිධ අවශ්‍යතා බලාපොරොත්තු හා ඉලක්ක වලින් යුතු සමූහයකි. එනම් ගනුදෙනුකරුවන්, විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්, ආණ්ඩු ආයතන හෝ වෙනත් මැදිහක්කරුවන් විය හැකිය.සම්බන්ධතා යන්නේ අදහස් වන්නේ පොදු උදහස් හා ක්‍රියාකාරකම් බෙදා ගැනීමේ ක්‍රියාවලියෙන් ලැබෙන අන්‍යෝන්‍ය අවබෝධයයි. කිසියම් දෙපාර්ශවයක සම්බන්ධතාවල ගැඹුරු මානව ගුණාංග ඇත.

සන්නිවේදනය පුද්ගලයා සංවිධාන හා කෙරෙන සන්නිවේදනය වඩාත් සමීප හා අභිවෘද්ධිදායක කරනුයේ මහජන සම්බන්ධතා මඟිනි. සමාජ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය වීමේදී ඊට අනුකූල වන ලෙස ඒ සමාජ සංස්ථාවල තොරතුරු සම්පාදනය ද පුද්ගලය හා ජන කණ්ඩායම් අතර වඩාත් විධිමත් ලෙස ව්‍යාප්ත විය යුතුය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු, හුදෙකලාව පවතින තත්ත්වයක් වෙනුවට උපක්‍රමශීලී ලෙස සකසන සන්නිවේදනාත්මක සංදේශයකට හසුවීමක් ලෙස සැලකිය හැකිය.

මහජන සම්බන්ධතා සංකල්පය කෙමෙන් වර්ධනය වී සමාජයේ පවත්නා විවිධ ශාඛාවලට පැතිර තිබේ. වෙළඳාම්, ව්‍යාපාරික කටයුතු, රෝහල්, සමිති සමාගම් රජය පරිපාලන කටයුතු රාජය නොවන සංවිධාන ආදිය පවත්වාගෙන යාම සහ රැකියා කේන්ද්‍රගතව ක්‍රියාත්මක වීම දක්වා විවිධ ක්ෂේත්‍ර වලට ඒ ව්‍යාප්ත වී ඇත.

මහජන සම්බන්ධතාවය යනු, 

කළමනාකාරණ කාර්‍යකි.

මහජන සම්බන්ධතාවයට යන්ත්‍ර, සන්නිවේදනය හා ජනමාධ්‍ය භාවිතා කරයි.

මුදල් වැය නොවේ. 

සෑම සංවිධානයකටම අවශ්‍ය වේ.

දීපාර්ශ්වික හෝ අන්තර් ක්‍රියාකාරී ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

සැලසුම් සහගත සංවිධානාත්මක දෙයකි.

මහජන සම්බන්ධතා මගින් ඇති කරනු ලබන සබඳතාව කෙටිකාලීන වූවක් නොව දිගු කාලීන වූවක් බව පැහැදිලි කරයි.

අරමුණු සහ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් පුළුල් ආකාරයෙන් ප්‍රායෝගිකව ආවරණය කරනු ලබන්නකි.

ආයතනයක් හා සම්බන්ධතා පවතින්නේ තනි පුද්ගලයෙකු නොව පාරිභෝගිකයා නැතහොත් ජනතාව වන බව මහජන සම්බන්ධතා පෙන්වා දෙයි.

හිමාෂා නෙත්මිණි 

Monday, November 3, 2025

විචාරශීලී ග්‍රාහකයා

"සක්‍රීය මාධ්‍ය ග්‍රාහකත්වයේ අපට නිසගයෙන්ම හෝ සහජයෙන් හෝ ලැබෙන බලයක් නොව ඒ හැදෑරිය යුතු විෂයකි. එමගින් නොයෙකුත් ජනමාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය නව තාක්ෂණය පිළිබඳ විමසා බැලීමට අවස්ථාව ලබා දේ'' -ඩග්ලස් කෙල්නර්-

අප ජීවත් වන්නේ මාධ්‍ය ලෝකයක වේ. දෛනිකව විවිධාකාරයේ මාධ්‍ය සංදේශ පුද්ගලයාට හා සමාජය වෙතට ගලා එයි. එකී මාධ්‍ය සංදේශ හුදෙක් නිර්මාණය වේ. මේවා තුළ සත්‍ය අසත්‍ය අන්තර්ගත වී ඇත. එබැවින් මාධ්‍ය මාධ්‍යයන්ගේ ආකූල වු සමාජයක් තුළ ජීවත් වන ග්‍රාහකයා එකී මාධ්‍ය සංදේශයන් හි සත්‍ය අසත්‍යතාවය නිවැරදි ලෙස තහවුරු කර ගැනීමට සමත් විය යුතු වේ. එහිදී ග්‍රාහකයා විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීම සහ මාධ්‍යයේ මායාව සහ යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතා ඥානයෙන් පෝෂණය විය යුතුය.අප වෙත ලැබෙන  සෑම මාධ්‍ය සංදේශයක්ම එම අයුරින්ම භාරගෙන ඒවා පිළිබඳ ප්‍රශ්න කිරීමට විචාරශීලී ග්‍රාහකයා සමත් විය  යුතු වේ. මෙහිදී ජනමාධ්‍ය තේරුම් ගැනීමටත් විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීමටත් මාධ්‍ය යථාර්ථය හා මායාව තේරුම් ගැනීමටත් සමත් විය යුතු වේ.

විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශ වලින් ප්‍රශ්න කරයි. තොරතුරු ලැබෙන්නේ කෙසේද? කාගෙන්ද? කිනම් මූලාශ්‍රයකින්ද? කවුරුන් උදෙසාද යන්න පිළිබඳව සෑම විටම විමසා බලයි. එබැවින් විචාරශීලී ග්‍රාහකයා වනාහී සාමාන්‍ය ග්‍රාහකයා අතරින් සුවිශේෂී සක්‍රීය ග්‍රාහකයෙකු වේ.

විචාරශීලී ග්‍රාහකයා සතු විය යුතු කුසලතා

විශ්ලේෂණය

සංදේශයක් තේරුම් ගත හැකි ආකාරයට එය කොටස් වලට කඩා වෙන්කර හඳුනා ගැනීමයි.

තක්සේරුකරණය

මාධ්‍ය සංදේශයක ගුණාගුණ සොයාබලෙමින් තක්සේරු කිරීමයි. නැත්නම් ප්‍රවෘත්තියක සංදේශයක යෝග්‍ය අයෝග්‍යතාවය තහවුරු කිරීමයි.

කාණ්ඩකරණය 

තොරතුරක් නැතහොත් ප්‍රවෘත්තියක  කරුණුවල සමාන අසමාන කොටස් සංසන්දනය කිරීම වේ.

අනුමානය 

කුඩා කරුණු ප්‍රමාණයකය විද්‍යාමාන වන රටාව හඳුනාගෙන ඊට වඩා විශාල කරුණු ප්‍රමාණයක පොදු රටාව හඳුනා ගැනීමයි.

නිගමනය 

පොදු කරුණු උපයෝගී කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි.

සංස්ලේෂණය 

තිබෙන කොටස් එකට එකතු කොට නව ව්‍යූහයක් සකසා ගැනීමයි.

වියුක්තිකරණය

කිසියම් ප්‍රවෘත්තියක තොරතුරක අඩංගු හරය නිරවුල්ව පැහැදිලිව කෙටියෙන් සම්පින්ඩනය කර ගැනීමේ හැකියාවයි.

විචාරශීලී ග්‍රාහකයෙකු සතු විය යුතු කුසලතා මේ පරිදි පෙන්වා දිය හැක. මෙකී කුසලතා වලින් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙකු සතු බලගන්වයි.

✍️හිමාෂා නෙත්මිණි 

Tuesday, October 28, 2025

මාධ්‍ය සාක්ෂරතාවය

මානව සන්නිවේදනය ඉතා සංකීර්ණ සන්නිවේදන ක්‍රියාවලියකි. භාෂාව යනු මානවයා සතු සියලු අදහස් ආකල්ප පොදු බවට පත් පත්කරන මෙවලමයි. භාෂාවන් නිර්මාණය වී ඇත්තේ සංඥා සංකේත සමුදායකිනි. එම සංඥා සංකේත රටා අවබෝධ කර ගැනීමක් මානවයා තම අදහස් ප්‍රකාශනයේ දී එම සංඥා  සංකේත යෝග්‍ය පරිද යොදා ගැනීමක් සිදු කරයි.මෙම ක්‍රියාවලියේ සෑම පුද්ගලයකු තුළම එක හා සමාන මට්ටමේ සිදු නොවන අතර එක් එක් පුද්ගලයා තුළ සිදුවන්නේ විවිධාකාරයෙනි.
මිනිසාට කිසියම් භාෂාවක් කියවීමට ලිවීමට ඇති හැකියාව සාක්ෂරතාවය නමින් හඳුන්වයි.

මාධ්‍ය සාක්ෂරතාතා නිර්වචන

ඔක්ස්ෆර්ඩ්  ශබ්දකෝෂය

"අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව සාක්සාක්ෂරතාවය යි"

UNESCO Education Sector

"මුද්‍රිත හා ලිඛිත ද්‍රව්‍ය භාවිතා කරමින් සංකීර්ණ පාඨ හඳුනා ගැනීමට, අවබෝධ කර ගැනීමට, අර්ථකථනය කර ගැනීමට, නිර්මාණය කිරීමට, සන්නිවේදනය කිරීමට හා සංඛ්‍යානය කර ගැනීමට ඇති හැකියාවයි."

යුරෝපා කොමිසම

"මාධ්‍ය ඔස්සේ සෑම ආකාරයකින්ම ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය සංදේශ පරිහරණයට, විශ්ලේෂණයට, ඇගයුමට, නිර්මාණය කිරීමට ඇති හැකියාවයි."

W.ජේම්ස් පොටර්

"අප වෙත ලැබෙන මාධ්‍ය සංදේශ අර්ථකථනය කරගැනීමට අප කෙතරම් දුරට මාධ්‍යයට විවෘත ද යන්න පිළිබඳ පර්යාලෝක මාධ්‍ය සාක්ෂරතාවයයි. අප පර්යාලෝක ගොඩනගා ගනු ලබන්නේ අපගේ දැනුම් ව්‍යුහයන් මතයි."

ජාතික මාධ්‍ය සාක්ෂරතාව සඳහා ජාතික ආයතනය (ඇමරිකාව)

"මාධ්‍යයන්ට ප්‍රවේශ වීම, මාධ්‍යයන් විශ්ලේෂණය ,මාධ්‍යයන් ඇගයීම, මාධ්‍ය නිර්මාණය සහ මාධ්‍යයන් තුළ ක්‍රියාශීලීව කටයුතු  කිරීමේ සමත් බවයි."

ඉපැරණි කාලය මිනිසා අකුරු කියවීමේ ලිවීමේ දී දැක්වූ සාක්ෂරතාව ශූර කථිකත්වය ලෙස නම් කෙරිණි. නමුත් සන්නිවේදන තාක්ෂණය සිදු වූ සංවර්ධනය හේතු කොටගෙන එය තවදුරටත් සංකීර්ණ සංකල්පයක් බවට පත්විය. එබැවින් ඒ තුළ සාක්ෂරතා සංකල්පය විවිධ ක්ෂේත්‍රයන් කිහිපයක් ඔස්සේ ව්‍යාප්ත වී ඇත.

•දෘශ්‍ය සාක්ෂරතාව
•ශ්‍රව්‍ය සාක්ෂරතාව
•පරිගණක සාක්ෂරතාව
•තොරතුරු සාක්ෂරතාව
•තාක්ෂණික සාක්ෂරතාව 
•සංඛ්‍යාංක සාක්ෂරතාව

සන්නිවේදන ක්ෂේත්‍රයේදී මෙම ක්ෂේත්‍ර සියල්ලන්ගෙන් සමන්විත සාක්ෂරතාව මාධ්‍ය සාක්ෂරතාවය ලෙස අර්ථ දක්වයි. විවිධාකාර ජනමාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන සංදේශ කියවා වටහා ගැනීමටත් ඒවා භාවිතා කිරීමටත් ඇති හැකියාව නිපුණතාවය හා දැනුම මාධ්‍ය සාක්ෂරතාව ලෙස පෙන්වා දිය හැකිය.

මාධ්‍ය සාක්ෂරතාව අත්පත් කර ගැනීම තුළ පුද්ගලයා ලබන ප්‍රයෝජන රාශියක් ඇත.

01.මාධ්‍ය සංදේශ ක්‍රියාවලිය හඳුනාගැනීමේ හැකියාව.

02.මාධ්‍ය සංදේශයන්ගේ බලපෑම හඳුනා ගැනීමේ හැකියාව.

03.මාධ්‍ය සංදේශ විශ්ලේෂණය කිරීම හා ඒ පිළිබඳ කතිකාවත් ගොඩ නැංවීමේ හැකියාව.

04.මාධ්‍ය සංදේශ සංජානනය කිරීමේ හැකියාව.

05.මාධ්‍ය සංදේශ ඇගයීමේ හැකියාව

✍️හිමාෂා නෙත්මිණි 

Sunday, October 26, 2025

සමාජ මාධ්‍ය


සමාජ මාධ්‍ය යනු  එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම් ජීවිත සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව "සමාජ මාධ්‍ය” නමින් හදුන්වනු ලැබේ. එහිදී සමාජ මාධ්‍ය යන්න විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබේ. 

ගල් යුගයේ පටන් මිනිසාගේ සන්නිවේදනය ගින්දර , ශබ්ද ,ගල්ගුහා  ආශ්‍රිත චිත්‍ර ආදියෙන් ආරම්භ විය.පසුව මානව වර්ගයාගේ ශාරීරික හා තාක්ශනික දියුණුවත් සමග කඩදාසි බිහි වීමත් ඒ ආශ්‍රිතව මුද්‍රණ ශිල්පය ආරම්භ වීමත් දක්නට ලැබුණි.

ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජන මාධ්‍යයන්ගේ , නව මාධ්‍යයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණි. මෙම වර්ධනයත් සමග සාමජ මාධ්‍යන් මිනිස් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි.සමාජ මාධ්‍ය,ලොව පුරා සංවර්ධනය වූ රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල්ද අරක් ගෙන ඇති බව නො රහසකි.භූගෝලීය සීමා අතික්‍රමණයට හා කාලය හා අවකාශය අතර දුර සංකෝචනය සමාජ මාධ්‍ය සතු ශක්‍යතාව සමාජ මාධ්‍ය වේගයෙන් ලෝකය වෙලා ගෙනීමට හේතු විය.සමාජ මාධ්‍ය  නිර්වචන ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමේදී මේ නිර්වචනය වැදගත් වේ.

"සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය භාවිතා කරමින් මිනිසුන් එකිනෙකා සමග අන්තර් සබදතා පවත්වාගෙන යන වචන,ඡායාරූප,ශ්‍රවය, යන දේ අන්තර්ගත බහු  මාධ්‍ය දෙයකි."

මෙහිදී අවධාරනය වන්නෙ සමාජ  මාධ්‍ය  තුල නිර්වාචික සන්නිවේදනය  සිදු වන බවයි.

සමාජ මාධ්‍යන් ගේ විකාශනය දෙස බැලීමේදී එහි විවිධත්වයක් දැකිය හැකිය.ලොව පළමු සමාජ මාධ්‍ය සිට එහි විකාශනය පහත පරිදි  වේ.

Six Degrees                                           1997-2001 (First social Media)

Hot or Not                                            2000

Friendster                                             2002

Linkedin                                               2002

My space                                              2003

Face book                                             2004

You Yube                                              2005

Twitter                                                  2006

The hashtag arrives                            2007

Weibo                                                   2009

Instagram                                            2010

Year of the Selfie                                 2014

Face book LIVE                                   2016

Instagram launches stories                2016

Instagaram launches IGTU app        2018 

සමාජ මාධ්‍ය ලොව පුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. පුද්ගලයන්ට මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට මාර්ගයක් ලෙස මුලින් නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය සන්නිවේදනය, දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය ඇතුළු සමාජයේ විවිධ අංශවලට බලපෑම් කරන බහුවිධ වේදිකාවක් බවට පරිණාමය වී ඇත. අද අප සන්නිවේදනය කරන ආකාරය සමාජ මාධ්‍ය වේදිකා සංවර්ධනය මගින් දැඩි ලෙස හැඩගස්වා ඇති අතර, මෙම පරිණාමය අප අන් අය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය, තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ  ප්‍රකාශ කරන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර ඇත

Facebook

වර්තමානයේ දි මෙම සේවය භාවිතා කරමින් සිටී. සියලුම වෙබ් අඩවි වලට අනුව Facebook වෙබ් අඩවිය ප්‍රමුඛස්ථානයේ. මේ වෙබ් අඩවිය ආරම්භ කළ මුල් පැය 4 ඇතුලත පුද්ගලයන් 450 ක් පමණ එයට සම්බන්ධ වූ බව වාර්ථා වේ.මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ මාක් සකර්බර්ග් ය.මේ මගින් වාචික සන්වාද,වීඩියෝ සන්වාද ආදී පහසුකම් රාශියක් සපයා දී ඇත.එක් රටක් තුළ පමණක් නොව රට රටවල් අතර පවා සම්බන්දතා පවත්වා ගැනීමට වෙබ් අඩවිය ඉවහල් වී තිබේ.

Youtube

Youtube වීඩියෝ හුවමාරුව සදහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි.ලොව ඔනෑම ස්ථානයක සිට මෙම වෙබ් අඩවිය මගින් තමන්ට අවශය වීඩියො දර්ශනයක් බැලිය හැකිය.මෙමගින් ඉතා පහසුවෙන් වීඩියො උඩුගත කිරීම හා ඒවා මාර්ගගත ව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි.වර්ථමානයේදී Youtube channel පවා  පවත්වගෙන යන බව අප කවුරුත් දන්නා දෙයකි.එය තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබයි.එමෙන්ම සෑම රූපවහිනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය Youtube තුළ පවත්වාගෙන යෑම සිදු කරයි.ගීත,චිත්‍රපට,විනෝදාත්මක වැඩසටහන් ආදී ඕනෑම වීඩියොවක් බැලීමට යොදා ගත හැකිය.

Twitter

2006 වර්ෂයේ දී ආරම්භ වන මෙම සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හදුන්වනු ලබයි.එමෙන්ම සේවයක් ලෙසද මෙම සේවාව හදුනාගැනේ.රට රටවල්වලවලට පවා යම් පණිවිඩයක් ඉතා පහසුවෙන් යොමු කිරීමට මෙය මහත් රුකුලක් වී ඇත.

Instagram

මෙය වෙබ් අඩවියට සමාන දෙයකි.වීඩියො හුවමාරු කර ගැනීමට මිතුරන් සමග සම්ධන්දතා පවත්වා ගැනීමට  භාවිත කරයි.

Linkedin

ව්‍යාපාරික ප්‍රජාව හා වෘත්තීය ප්‍රජාව සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. මෙම සමාජ ජාල වෙබ් අඩවිය පරිහරණය කළ හැක්කේ එහි ලියාපදිංචි වූ සාමාජිකයන්ට පමණි.මෙය වෘත්තික ජාලකරණයක් උදෙසා නිර්මාණය කර ඇත. වෘත්තීය දැනුමෙන් විශ්වාස කරන පුද්ගලයින් අතර ජාල ගොඩනගා ගැනීමට මෙන්ම තොරතුරු බෙදා හදා ගැනීම සඳහා යොදා ගනියි.

Whtasapp,Telegram,Tiktok යනාදී සමාජ මාධ්‍ය ජාලාද වර්තමානයේ බහුලව භාවිතා කරනු ලබයි.

සටහන:හිමාෂා නෙත්මිණි 

Thursday, October 23, 2025

නව මාධ්‍ය

විසිවන සියවස අගභාගයේ දී සන්නිවේදන තාක්ෂණයේ දියුණුවන් සමඟ නව මාධ්‍ය සම්භවය විය.දුරකථනය අන්තර්ජාලය හා පරිගණකය නව මාධ්‍යයට අයත් වේ. නව මාධ්‍යයේදී සිදුවන්නේ ශබ්දයක් වචනයක්, රූපයක්, චිත්‍රයක්, වීඩියෝවක් හෝ දත්තයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමේදී 1,0 යන අංකිත තාක්ෂණයට හකුළුවා ඉදිරිපත් කිරීමයි.මේ තුළින් තොරතුරු වේගවත්ව හුවමාරු කර ගැනීමට හැකි වූ අතර තොරතුරු ගබඩා කිරීම හා ලබා ගැනීමට ද කාර්යක්ෂම විය.

1960 දශකයේ පරිගණකයේ ආශ්‍රයෙන් එකිනෙකා අතර පරීක්ෂණ පදනම් කරගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණේ හා යුද හමුදා ක්ෂේත්‍රවලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නව මාධ්‍ය බිහි විය.

ටිම් බර්නස් ලී විසින් ලෝක ව්‍යාප්ත ජාලය වූ www සංකල්පය සොයා ගැනීමේ ප්‍රතිඵලයක් මත නව මාධ්‍ය වර්ධනය වේගවත් විය.නව මාධ්‍ය දියුණුවේ තවත් එක්තරා ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍ය අභිසාරිතාවයද බිහි විය.

නව මාධ්‍යයේ ලක්ෂණ

1.අංකිතකරණය
2.ජාලගතකරණය
3.අන්තර් ක්‍රියාකාරිත්වය
4.අධිපාඨනීයත්වය
5.සංදේශකරණය
6.දත්ත සංචිතකරණය
7.වේගවත් සංදේශකරණය

අංකිතකරණය:
රූපයක් ශබ්දයක් වචනයක් චිත්‍රයක් හෝ දත්තයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමේදී හෝ ගබඩා කිරීමේදී 1 සහ 0 යන සංඛ්‍යා දෙකට අනුව හකුළුවාලීම අංකිතකරණයයි.

ජාලගතකරණය:
නවමාධ්‍යයේ එක් ලක්ෂණයකි.විවිධ තොරතුරු මූලාශ එකිනෙක සම්බන්ධ කිරීම තොරතුරු ජාලගතකරණය නමින් හඳුන්වයි.නූතනය වන විට ජාත්‍යන්තර මට්ටමින් තොරතුරු ජාලයන් බිහි වීඇත.

අන්තර්ක්‍රියාකාරීත්වය:
දත්තලබාගැනීම,උපදෙස්ලබාදීම ක්ෂණිකව තොරතුරු යාවත්කාලීන කිරීම ප්‍රතිචාර දැක්වීම ආදී වූ මානව සංවාදශීලීත්වය අන්තර් ක්‍රියාකාරිත්වය ලෙස හඳුන්වයි.

අධිපාඨනීයත්වය:
විද්‍යුත් සබඳතා භාවිතා කරමින් එක් පඨිතයක් වෙතින් වෙනත් පඨිතයක් වෙත ළඟා වීමට ඇති හැකියාවයි.

ස්වයංකරණය:
සක්‍රීය වන සෘජු මානව සහභාගිත්වයකින් තොරව ග්‍රාහකයා වෙත පණිවිඩ ලබාදීම ස්වාමිකරණය නමින් හඳුන්වයි.නව මාධ්‍ය උපයෝගී කරගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීමට ඊට අදාළ සාක්ෂරතාවය හා හසුරු කුසලතාවයේ අත්‍යවශ්‍ය වේ.

දත්ත සංචිතකරණය:
විවිධ ස්වරූපයන්ගේ දත්ත එක් තැනකට ඒකරාශී කිරීමයි.විවිධාකාරයේ දත්ත පරිගණක විධි ක්‍රමවලට අනුව පහසුවෙන් ලබා ගත හැකිය ආකාරයට දත්ත ගබඩා කිරීම දත්ත සංචිතකරණය තුළ සිදු වේ.මෙය සංකීර්ණ ක්‍රියාවලියකි.

වේගවත් සංදේශකරණය:
පුළුල් ග්‍රාහකයන් පිරිසක් අතර ඉතා වේගයෙන් තොරතුරු පණිවිඩ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය මිනිසා සපුරා ගන්න ලද්දේ නව මාධ්‍ය බිහි කිරීමෙන්න අනතුරුවයි.

චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් තොරතුරු අංකිතතාක්ෂණය ඔස්සේ හුවමාරු කර ගැනීමට මෙහිදී හැකි විය. එසේම දත්ත සංචිතකරණය තුළ නව මාධ්‍ය පරිශීලකයන්ට ඉතා වේගවත් පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබිණි.වත්මන් මිනිසා කාලය හා දුර මෙන්ම අවකාශය ජයගන්නා ලද්දේ නව මාධ්‍යයේ වේගවත් සංදේශකරණය මත වේ.

✍️සටහන:හිමාෂා නෙත්මිණි 

Wednesday, October 22, 2025

විද්‍යුත් මාධ්‍ය


ගුවන් විදුලිය

මුල්ම විද්‍යුත් ජනමාධ්‍ය වේ. හඬ තරංගයක් බවට පරිවර්තනය කොට දුරට රැගෙන ගොස් එහිදී නැවත එම තරංගය හඩ බවට පරිවර්තනය කරන තාක්ෂණය මුල්වරට සැමුවෙල් මෝස් විසින් සොයා ගන්නා ලදී.ඒ ඔස්සේ ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනය සොයා ගන්නා ලදී. දුරකථන තාක්ෂණය හා ටෙලිග්‍රාෆ් තාක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් ගුවන් විදුලිය නිර්මාණය කොට ඇත. සංඛ්‍යාත ප්‍රත්‍යා වර්ථ ධාරා අනුසාරෙන් ජනිත කරවන විද්‍යුත් චුම්භක තරංග තුළින් රැහැන් රහිතව හඬ රැගෙන යන මාධ්‍යයක් වන බැවින් මෙය මුල් කාලයේදී වයලර්ස නමින් හැදින්විය.

පළමු ලෝක යුද සමයේ දී යුද තොරතුරු හුවමාරු කර ගැනීම උදෙසා ගුවන් විදුලිය යොදා ගැනිණි. මෙය ශ්‍රව්‍ය මාධ්‍යයකි. හඬ හඬා ආත්මය කොටගත් මාධ්‍යයකි. මිනිස් කටහඬ ,සංගීතය හා ශබ්දය යන කොටස් ත්‍රිත්වයේම ඒකාබද්ධතාවයකි.

හෙන්රි හර්ඩ්ස් විසින් රේඩියෝ තරංග වල පැවැත්ම විස්තර කරන ලදී. එහි දිගුවක් වශයෙන් හැරල්ඩ් පවර් හා ඇමරිකානු රේඩියෝ පරීක්ෂණ සමාගම එකට ඒකාබද්ධව ලොව ප්‍රථම අඛණ්ඩ ගුවන් විදුලි විකාශනය සිදුකොට ඇත.එඩ්වින් ආම්ස්ටෝන් විසින් FM රේඩියෝව වැඩි දියුණු කරන ලදී.

ගුවන් විදුලි මාධ්‍යයේ ලක්ෂණ

ශ්‍රව්‍ය  මාධ්‍යයකි.

ක්ෂණික ගෘහස්ථ මාධ්‍යයකි. 

පුළුල් කලාපයක් ආවරණය කරයි.

එක් දිශාවට පමණක් සංදේශ ගමන් කරයි.

සරල ජංගමශීලී මාධ්‍යයකි.

පරිකල්පනශීලී මාධ්‍යයකි.

එක් වරකදී තේරුම් ගත හැකි පරිදි සංදේශ ඉදිරිපත් කරයි. 

විවිධාකාරයේ ග්‍රාහක ක්ෂේත්‍රයන් ඉලක්කගත කරමින් සංදේශ ඉදිරිපත් කරයි.

ප්‍රජා, ප්‍රාදේශීය, දේශීය, අන්තර්ජාතික වශයෙන් ගුවන් විදුලි ජාලා බිහි වී ඇත.

රූපවාහිනියට සාපේක්ෂව අඩු වියදම් සහිත මාධ්‍යයකි.

රූපවාහිනීය

රූපවාහිනිය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි. ජනමාධ්‍ය අතරින් ග්‍රාහකයාට ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි මාධ්‍යයක් ලෙස රූපවාහිනි මාධ්‍ය පෙන්වාදිය හැකිය. ඊට හේතුව වන්නේ මෙහි ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය  ප්‍රභවයයි. රූපවාහිනියේ ලෝකයේ ප්‍රබලතම ජනමාධ්‍ය වේ. ජාතික හා අන්තර්ජාතික මට්ටමේ රූපවාහිනී මාධ්‍ය බිහි වී ඇත.

රූපවාහිනිය බිහිවන්නේ අධ්‍යාපනික මාධ්‍යයක් වශයෙනි. රූපවාහිනිය තුළින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ බිහි කළ හැකි වේ. පුද්ගලයාගේ දැනුම, ආකල්ප, හැසිරීම හැඩගැසීමට රූපවාහිනිය සමත් වේ. වත්මන් රූපවාහිනිය ක්‍රියාත්මක වන්නේ දේශපාලනික හා වාණිජමය මුහුණුවරකි.ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ (1979-ITN) රූපවාහිනිය ඒකකයයි.  1982 දී ජපන් රජය ආධාර ඇතිව ජාතික රූපවාහිනියේ නිර්මාණය කර ඇත.

රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ

ශ්‍රව්‍ය  දෘෂ්‍ය මාධ්‍යයකි.

පෞද්ගලික ගෘහස්ථ සමීප මාධ්‍යයකි.

ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණවලින් යුක්තය.

ආකර්ෂණීය මාධ්‍යයකි.

සංකීර්ණ තාක්ෂණයකින් යුක්ත වේ.

විවිධාකාර අන්තර්ගතයන්ගෙන් හා විචිත්‍රවත් ආකෘති වලින් සමන්විත වේ.

පුද්ගලයාගේ පූර්ණ අවධානය ග්‍රහණය කර ගන්නා මාධ්‍යයකි.

විධිමත් ආයතන ගත සංවිධාන ව්‍යුහයකින් සමන්විත වේ.

සිනමාව

සිනමාව යනු, සෙවනැලි ඡායාරූප කලාව තවදුරටත් සංවර්ධනය වීමේ තවත් එක්තරා දියුණු මාධ්‍ය ස්වරූපයකි. රසායනික මාධ්‍යයක් වන සිනමාව අඳුර සමග මිශ්‍ර වූ මාධ්‍යයකි.

ප්‍රංශ ජාතික ජෝසප් නිප්සේ ප්‍රථම වරට රූපයක් රඳවා ගත හැකි කැමරා ක්‍රමයක් සොයා ගන්නා ලදී. එහි තවත් සංවර්ධන අවස්ථාවක් ලෙස ජුලිස්මරේ තත්පරයකට අඛණ්ඩව ඡායාරූප දොළහක් ගත හැකි කැමරා තුවක්කුව සොයා ගන්නා ලදී.ෆෙඩි ඔඩ්ස් විසින් යමෙකු කිවිසුම් අරින දර්ශනයක් ප්‍රථම වරට කැමරාවක් ඉදිරියේ රූගත කර ඇත.මුල් කාලීනව සිනමා පට නිහඬ සිනමාවට අයත් විය හුදෙකේ එබැවින් දෘශ්‍යමාධ්‍යයක් පමණක් විය.

නමුත් Voner සහෝදරයන් විසින් The Jass Singer සිනමා පටය තුළට හඩ එක්කොට නිර්මාණය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ කඩවුණ පොරොන්දුව විය. අනතුරුව බිහිවූ රේඛාව සිනමා පටය එළිමහන් පරිසරය තුළ රූගත කර ඇති බැවින් එය ගෘහස්ථ සීමා අතික්‍රමණය කොට ග්‍රාමීය පරිසරය ප්‍රදර්ශනය කිරීමට හැකි විය.සිනමාව ආරම්භ වූ මුල් යුගයේදී එනම් පළමු ලෝක යුධ සමයේදී සිනමාව භාවිතා කෙරුණු  ප්‍රචාරණ මාධ්‍යයක් ලෙසිනි.අද වන විට සිනමා මාධ්‍ය ලෝකයේ ජනප්‍රියතම මෙන්ම කලාත්මක මාධ්‍යයක් බවට පත්වී ඇත.විවිධ වූ ශානරයන් මගින් ප්‍රේක්ෂකයන් ඇද බැද ගැනීමට අද වන විට සිනමා පටයන් නිර්මාණය වන ආකාරයේ දක්නට ලැබේ.

✍️සටහන:හිමාෂා නෙත්මිණි 



Tuesday, October 21, 2025

මුද්‍රිත මාධ්‍ය

 

පුවත්පත

පුවත්පත මුල්ම සංවිධිත ජනමාධ්‍යයි.මුල් කාලීනව හඳුන්වන ලද්දේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධියට පත් කරන පත්‍රය යන්නයි. යුනිස්කෝ සංවිධානය මෙලෙසින් නිර්වචනය කර ඇත.

"එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට නොබදින ලද ප්‍රකාශනයකි"

සුවිශේෂී භූගෝලීය කලාපයක වෙසෙන බහුතර ජනතාවට අයත් පොදු රුචිකත්වයට අඩංගු ප්‍රවෘත්ති පුවත්පතෙහි අන්තර්ගතය.දිනපතා හෝ සතිපතා නිකුත්වන ප්‍රකාශනයකි.ක්‍රි.ව 105 දී චීන ජාතික සායිලුන් කඩදාසිය සොයා ගැනුන  අතර එසේම චීන ජාතිකයකු වූ වොංචි කඩදාසිය උපයෝගී කර ගනිමින් මුල්ම මුද්‍රණය සිද කොට ඇත. සිය මිය ගිය දෙමාපියන් සිහිපත් කිරීමට වජ්ජ සූත්‍රය මුද්‍රණය කිරීම තුළ ඉපැරණි මුද්‍රණ ශිල්පය චීනයෙන් බිහිවිය. ක්‍රි. ව 1445-1455 අතර කාලයේදී ජර්මන් ජාතිකයෙකු වූ ජොහැන්ස් ගුටෙන්බර්ග් සිය මුද්‍රණ යන්ත්‍රය උපයෝගී කර ගනිමින් බයිබලය මුද්‍රණය කරන ලදී. එය නූතන මුද්‍රණ ශිල්පීය ප්‍රථම අවස්ථාව මෙන්ම ජනමාධ්‍ය ආරම්භයේ මූලික වූ අදියරය වේ.

ලංකාවේ මුල්ම පුවත්පත වූයේ "Colombo Jurnel" වේ. ලංකාවේ මුල්ම සිංහල  පුවත්පත වූයේ ලංකාලෝකය යි. නමුත් ලංකාවේ සිංහල ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ ලක්මිණි පහනයි.

පොත්

නුතන ජනමාධ්‍ය  ඉතිහාසය ආරම්භ වූවා යැයි සලකනු ලබන්නේ පොත මගිනි. නීති පොත් ,අණ පණත්, රාජ්‍ය ආඥා රජයට අයත් ලිපි ලේඛන ඇතුළත් පොත් මෙහිදී බිහි විය.

හරිස්චන්ද්‍ර විජයතුංග මහතා පෙන්වා දෙන ආකාරයට පොත යනු, 

"ලියූ හෝ මුද්‍රිත හෝ අමුද්‍රිත කොළ එකට එක්කොට තනාගත් ලේඛන මිටිය පොත වේ"

මධ්‍යතන යුගයේ චින්තනය වෙනස් වීමට හේතු වූ ආගමික පත්‍රිකා විශේෂය පොත් බවට පත්විය. පොත් සමාජයේ නව පිබිදීමකට හේතු විය. තාක්ෂණික දියුණුව ප්‍රතිඵලයක් වශයෙන් සාම්ප්‍රදායික පොතෙහි ලක්ෂණ වෙනස් වී ඇත.              E News Paper සහ E News කලාව ඊට නිදසුන් වෙයි.

සඟරා:

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ සගරාවක් යනු කුමක් ද  යන වග මෙලෙස අර්ථකථනය කර ඇත.

"සතිපතා හෝ මාසිකව ලිපි ලේඛන හෝ ඡායාරූප ඇතුළත් තනි ලේඛනයකි"

"එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු යම් නිශ්චිත කාල වකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බඳින ලද ප්‍රකාශනයකි"

පුවත්පත හා සඟරාව අතර ඇත්තේ පැහැදිලි වෙනසකි. පුවත්පතක නැවුම් තොරතුරු අන්තර්ගත වන අතර සඟරාවක ඇත්තේ තරමක් පිළුණු වූ තොරතුරුය. සඟරාවක නිමයුම උසස්ය. එහි අන්තර්ගත භාෂා භාවිතය ද වෙනස්ව වෙනස් වේ. මේවා වාර ප්‍රකාශන නමින් ද  හඳුන්වයි. මාසිකව, ද්වීමාසිකව, අර්ධ වාර්ෂිකව හා වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. ක්‍රීඩා, සිනමා, විද්‍යා ,කාන්තා අධ්‍යාපනික දේශපාලන ආදී ක්ෂේත්‍රයන්ට අනුව සඟරා බිහි වී ඇත.

සටහන:හිමාෂා නෙත්මිණි 

Sunday, October 19, 2025

සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය

        

සාම්ප්‍රදායික මාධ්‍ය යනු, කාලාන්තරයක් තිස්සේ ගැමි ප්‍රජාව අතර අදහස්, තොරතුරු, දැනුම, විනෝදය හුවමාරු කර ගැනීම උදෙසා පරිසරයෙන් පහසුවෙන් සපයා ගත හැකි මෙවලම් උපයෝගී කොටගෙන සිදුකරන සන්නිවේදනයකි.

මේවා සාම්ප්‍රදායික සමාජ ක්‍රම තුළම සම්භවය වී සාම්ප්‍රදායික සමාජ ක්‍රම තුළම වැඩී පැවත එයි.සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍යයන් නිර්මාණය කරන්නේ කවුරුන් දැයි නිශ්චිතව හඳුනාගත නොහැක.එබැවින් සාම්ප්‍රදායික සන්නිවේදනයේ කර්තෘ අවිනිශ්චිතවේ.

සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍යයන් සඳහා තාක්ෂණික මෙවලම් භාවිතා නොකෙරේ.එසේම සංවිධානාත්මක බවකින්ද යුක්තත නොවේ.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ ඒකීය රටාවන් දැක ගත නොහැකිය.දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, ජන කණ්ඩායමෙන් ජන කණ්ඩායමට, සාම්ප්‍රදායික මාධ්‍යයන් භාවිතය වෙනස්වේ.

මානවයාගේ ප්‍රාථමික සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස හඳුන්වන්නේ පුද්ගල පංචේන්ද්‍රයයි.මානව සම්භවයේ සිට 18 වන සියවස දක්වා අතර කාලය තුළ නිර්මාණය වී ඇති සියලුම සන්නිවේදන මාධ්‍යයන් මිනිසාගේ කාය ශක්තිය මත නිර්මාණය කර ඇත.මේවා ප්‍රාථමික සන්නිවේදන විධික්‍රම ලෙසත් ප්‍රාග් ඓතිහාසික ජනමාධ්‍යවේදී ප්‍රපංච ලෙසත් හඳුන්වයි.

උදාහරණ නම්,හූව, ගින්දර ,දුම ,කොඩි, බෙර භාවිතයේ සතුන් මාර්ගිකව, දූතයන් මාර්ගිකව පණිවිඩ ක්‍රම, ශාන්ති කර්ම,ජනශ්‍රැති ආදිය දැක්විය හැකිය.

සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය සතු ලක්ෂණ නම්

සරල ආකෘතිය:

නූතන මාධ්‍ය හා නව මාධ්‍ය සමඟ සංසන්දනය කිරීමේදී සාම්ප්‍රදායික මාධ්‍ය නිර්මාණය වී ඇත්තේ ඉතාමත් සරල ආකෘතියකට අනුව ජන විඥානයට සමීප පොදු ජන සමූහයකට පහසුවෙන් තේරුම් ගත හැකි සංඥා සංකේත පද්ධතිය තුළ නිර්මාණය වී ඇති සාම්ප්‍රදායික මාධ්‍ය ගැමි ජන සමාජය හා සංස්කෘතිය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇත.ස්වභාවික පරිසරය සොයා සපයා ගන්නා අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙකී මාධ්‍ය නිර්මාණය වී තිබීම එහි ඇති සරල බව තවත් එක් හේතුවකි.

උදාහරණ, ඉපැරණි නිවසක් ඉදිරිපිට කොහොඹ අතු එල්ලා තිබීම එම නිවසේ වැළදෙන රෝගියෙකින් පෙළෙන රෝගියෙකු ඇති බව සරල ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇත.

තේමාත්මක අන්තර්ගතය:

සම්ප්‍රදායික මාධ්‍ය තුළ සංවිධානාත්මක බවත් දැක ගත නොහැකි වුවද සාම්ප්‍රදායික මාධ්‍ය භාවිත කිරීමේදී විවිධ තේමාවන්ට අනුකූලව සාම්ප්‍රදායික මාධ්‍ය යොදාගන්නා ලදී.

රෝග පීඩා පිළිබඳ දැනුවත් කිරීම, රෝගවලින් ආරක්‍ෂාවීම, භව භෝග සම්පත් ආරක්‍ෂා කිරීම, විනෝදය, විශ්වාසය ලබාදීමට හා පණිවිඩ ගෙන යාමට මෙන්ම භාවාත්මක ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට ද සාම්ප්‍රදායික මාධ්‍ය ඊට ගැලපෙන අයුරින් යොදා ගෙන ඇත.මෙහිදී යොදා ගන්නා ලද ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය ද එහි තේමාවන්ට අනුකූලවන සේ යොදාගෙන තිබීම සුවිශේෂිත්වයකි.

උදාහරණ, ගොක්කොල සැරසිලි සාම්ප්‍රදායික කලා නිර්මාණයකි. විවාහ මංගල්‍යය උත්සව, අවමංගල්‍යය උත්සව, යාතු කර්ම ආදී තේමාවන්ට අනුකූලව එහි සැරසිලි ඊට අනුකූල වන සේ භාවිතා කොටඇත.

නම්‍යශීලීත්වය:

සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කිරීම ඉතාමත් සරලය,පහසුය. පොදු ජන සමූහයට පණිවිඩ යැවීමට අවශ්‍ය ඕනෑම මොහොතකදී ඉතා පහසුවෙන් අවස්ථාවට, අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් භාවිතා කිරීමට හැකි වීම නිසා මෙය නම්‍යශීලී මාධ්‍යයකි.

පොදු ජන සමූහයට බෙහෙවින් සමීප ඔවුන් දන්නා හඳුනන සංඥා සංකේත හෝ පාරිසරික මෙවලම් සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයේදී පහසුවෙන් භාවිතා කිරීමට හැකි වීම නිසා සාම්ප්‍රදායික මාධ්‍ය තවදුරටත් පොදු ජන සමාජයේ පොදු මාධ්‍ය බවට පත් වී ඇත.

පිරිවැය අවම වීම: 

සාම්ප්‍රදායික මාධ්‍ය සමාජය තුළ ගැමියාට හුරු පුරුදු හා පොදු මාධ්‍යයක් බවට පත්වී ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයේ ඇති සරල බව හා ඒ සඳහා පිරිවැයක් වැය නොවීම හේතු කොට ගෙනය.

සාම්ප්‍රදායික මාධ්‍ය සඳහා බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ ස්වභාවික පරිසරයෙන් සොයා සපයා ගත හැකි සරල සම්පත්ය.තාක්ෂණික මෙවලම් කිසිවිටකත් මෙහිදී භාවිතා නොකරන අතර මේ සඳහා  වැය වන පිරිවැය අවම වීම එයට හේතුවකි. ප්‍රාදේශීය මට්ටමෙන් භාවිතා කරන සාම්ප්‍රදායික සන්නිවේදන විධික්‍රම තුළදී එකී සාම්ප්‍රදායික සමාජ ක්‍රමයට ගැලපෙන පහසුවෙන් සොයා සපයා ගත හැකි මෙවලම් මෙහිදී භාවිතා කිරීම සුවිශේෂීතාවයකි.

සටහන: හිමාෂා නෙත්මිණි


Saturday, October 18, 2025

රූපණය

සන්නිවේදන ස්වරූපයක් ලෙස රූපණය පෙන්වා දිය හැකිය.ක්‍රියාකාරකමක් වශයෙන් හෝ කිසියම් වෘත්තීයක් වශයෙන් රංගනයක නියැළීම රූපණයයි.යමෙකු විසින් තවත් අයෙකු අඳින පළඳින ,හැසිරෙන, කතාබහ කරන ආකාරය අනුකරණය කරමින් යම් පාර්ශ්වයක් ඉදිරියේ ඒ ප්‍රකට කිරීම රූපණය තුළින් සිදුවේ. රූපණය තුළින් යම් යම් අර්ථ ඉතා කාර්යක්ෂමව හා ත්‍රීව ලෙස ප්‍රකට කිරීමට අවකාශ සැලසේ.

ප්‍රාථමික සමාජ ක්‍රමයේ සිට රූපණය නිර්මාණය වී ඇත. ප්‍රාග් ඓතිහාසික මානව යුගයේදී මානවයා භාෂාව කොටස්කරයකු වීමට පෙර තමන් විසින් දඩයම් සිදු කරනු ලැබූ අයුරු තම ගෝත්‍රයේ ඉදිරියේ ප්‍රකට කරන ලද්දේ රූපණය  තුළිනි. ඒ ඉතාමත් රසවත් ලෙසින් හා ආකර්ෂණීය ලෙසින් ඉදිරිපත් කිරීමට ද එහිදී හැකි විය.

ආචාරශීලීත්වය ද ප්‍රකට කිරීමේදී රූපණය ඉතාමත් ප්‍රබල දායකත්වයක් ලබා දෙයි.ආචාරශීලීත්වය වාචිකව ප්‍රකාශ කළ නොහැකි දෙයකි. ඒ සෑම විටම බැඳ පවතින්නේ රූපණය හා බද්ධව වේ.උපකරණ, ඇඳුම් පැළඳුම් ආදිය භාවිතා කරමින් කිසියම් අදහසක් සමාජයට මනා ලෙස ප්‍රකට කළ හැකිය.

රූපණ කුසලතා වර්ධනය කර ගැනීමට සිදුකළ හැකි කාර්යයන්,

විවිධ භූමික අනුකරණය.

රූපණ අවස්ථා නිරීක්ෂණය කිරීම.

අවස්ථානෝචිතව රූපණයේ රටාවන් වෙනස් වන ආකාරයේ අධ්‍යයනය කිරීම.

විවිධ සන්නිවේදන අවස්ථා රූපණයෙන් ඉදිරිපත් කිරීම.

සටහන:හිමාෂා නෙත්මිණි 

Friday, October 17, 2025

කථන සන්නිවේදනය


කථන සන්නිවේදනය යනු, මුවින් පිටවන වචන හා ශබ්ද අනුසාරයෙන් අර්ථ ජනනය කිරීමකි.

පුද්ගල සමාජය ජීවිතයේ බොහෝ අවස්ථාවන් තුළදී භාෂාවක් භාවිතා කරමින් අන්‍යෝන්‍යව අදහස්, තොරතුරු හුවමාරු කර ගැනීමක් සිදු වේ.මිනිසා මිනිසකු වශයෙන් කිසියම් සමාජයක් තුළ ජීවත්වීම හේතුවෙන්ම ඔහු කථන සන්නිවේදනයේ නියැලේ.පුද්ගල සමාජ ජීවිතය තුළ අනේකවිධ සමාජයේ සබඳතා ගොඩනැගෙන්නේ කථන සන්නිවේදනය තුළිනි.

කථන සන්නිවේදනය වාචික සන්නිවේදනයෙන් වෙනස් වේ. වාචික සන්නිවේදනයේ දී පූර්ව සූදානම සහිතව වචන ශබ්ද නගමින් හෝ ලිඛිතව භාවිතා කළත්, කථන සන්නිවේදනයේ දී  ස්වභාවිකව හා නිරායාසිකව මුවින් පිටවන වදන්වලට පමණක් සීමා වේ.කථන සන්නිවේදනය ආචාරශීලීව,ආකර්ෂණශීලිව,අර්ථ පූර්ණව හා වඩා සමීප ලෙසින් සිදු කළ හැක.

කථන සන්නිවේදනය තුළ නිපුණයකු වීමට නම් ඊට අදාළ කුසලතා වැඩි දියුණු කරගත යුතු වේ.

මනා ලෙස සවන් දීම.

කියවීම.

දක්ෂ කථිකයන්ගේ කතා අනුකරණය.

කථන පුහුණුව. 

තනි පුද්ගලයෙකු හෝ සමූහයක් ඇමතීම.

හඬ නගා උච්චාරණය කිරීම.

විවිධ දේ කථනයෙන් ඉදිරිපත් වීම.

සටහන:හිමාෂා නෙත්මිණි 

Wednesday, October 15, 2025

ජන සන්නිවේදන කාර්යයන්

අධ්‍යාපනය ලබාදීම, තොරතුරු සම්පාදනය, පෙළඹවීම සහ විනෝදාස්වාදය යනාදීන් සන්නිවේදනය මූලික කාර්යයන් වන අතර ජනමාධ්‍ය මඟින් ද ඒවා ඉටුකරයි.

01.ජනමාධ්‍යයට සුවිශේෂී වූ කාර්යභාරයන් කිහිපයක් යුනිස්කෝ සංවිධානයේ විසින් ඉදිරිපත් කරන ලද Many voice one world  ග්‍රන්ථයේ සඳහන් වේ.

සුපරීක්ෂණය 

අර්ථකථනය 

සහසම්බන්ධය 

සමසමාජානුයෝජනය 

02. මහාචාර්ය විල්බර් ග්‍රාම් ද ජනමාධ්‍ය ඉටු කළ යුතු ප්‍රධාන භූමිකා තුනක් දක්වයි.

ආරක්ෂකයෙකුගේ භූමිකාව

සාකච්ඡා මණ්ඩපයක භූමිකාව

ගුරුවරයෙකුගේ භූමිකාව

03. හැරල් ඩී ලැස්වෙල්ට අනුව ජනමාධ්‍යයේ ප්‍රධාන කාර්යයන් ත්‍රිත්වයක් පෙන්වා දී ඇත.

සුපරීක්ෂණය.

ප්‍රවෘත්ති ලොව පුරා බෙදා හැරීම.

ප්‍රේක්ෂක මතය හා අදහස් හැඩ ගැස්වීමේ හැකියාව.

04.මෙයට අමතරව තවත් සන්නිවේදන විද්වතුන් ජනමාධ්‍යයේ අරමුණු රැසක් මෙලෙස ඉදිරිපත් කොට ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මුර සෙබළෙකුගේ භූමිකාව ඉටු කිරීම.

සමකාලීන සමාජ විඤ්ඤාණ හඳුනා ගැනීමට උපකාරී වීම.

ග්‍රාහක රසඥතාව පුළුල් කිරීමට සහාය වීම.

ඥාන වර්ධනයේ සඳහා උපයෝගී වීම.

නවෝත්පාදන විසරණය සඳහා තොරතුරු කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම. 

යනාදිය ජනමාධ්‍යය මගින් ඉටුකරන කාර්යයන් ලෙස පෙන්වාදිය හැකිය.

සටහන:හිමාෂා නෙත්මිණි 

Tuesday, October 14, 2025

දෘශ්‍ය සන්නිවේදනය

Visual Communication 

දෘශ්‍ය සන්නිවේදනය යනු, ඇස උපයෝගී කරගනිමින් දැකීමෙන් හෝ බැලීමෙන් අදහස් තොරතුරු ඒකරාශී කර ගැනීමයි. ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ පටන් නූතනය දක්වාම නිරෝගී ඇසන් නිරෝගී මනසක් ඇති සෑම අයෙකුම දෘශ්‍ය සන්නිවේදනයේ නියැලේ.  

උදාහරණ: සංඥා ,මුද්‍රණාක්ෂර, ග්‍රැෆික් නිර්මාණ ,චිත්‍ර, වර්ණ ,ආලෝකය සජීවීකරණය චිත්‍රපට

ඉපැරණි සමාජය තුළ මරණයත් සිදුවූ විට ඒ බව තවත් පාර්ශකයට දැනගැනීමේ සඳහා ඔවුන් ජීවත් වූ ගල් ගුහා අවට කුඩා ගල් ගොඩවල් ගසා ඇති බව ඉතිහාසයේ සාක්ෂි දරයි. එපමණක් නොම යමෙකු වනයේ ඇවිදින විට නැවත වනය තුළ අතරමං නොවී  එළියට ඒම සඳහා තමන් ගමන්කර මාර්ගය තුළ කොළ අතු කඩා එල්ලා ගිය බව ඉතිහාසයේ සඳහන්ය.එපමණක් නොව නිවස තුළ බෝවන රෝගයකින් පීඩා විඳින රෝගියෙකු සිටී නම් ඒ පිළිබඳ සමාජය දැනුවත් කර ඇත්තේ නිවස ඉදිරිපිට කොහොම අතු එල්ලීම තුළිනි. මේ අධ්‍යයනය කළ යුතු විෂයකි. දෘෂ්‍ය සන්නිවේදනය පිළිබඳ සිදු කරන්නා වූ අධ්‍යයනය සංඥාර්ථවේදය නමින් හඳුන්වයි.

සන්නිවේදන තාක්ෂණය බිහිවීමත් සමඟය දෘශ්‍ය සන්නිවේදනයද ප්‍රබල විය. විද්‍යුත් මාධ්‍ය තාක්ෂණය හා සමග බද්ධව නූතනය වන විට රූපවාහිනිය, පරිගණක අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාල තාක්ෂණයත් බිහිවී ඇත.නීරෝගී ඇසක් සහ නිරෝගී මනසත් තිබීම තුළම ඔහු  දෘෂ්‍ය සන්නිවේදනය කොටස්කරුවෙකු වුවත් සාර්ථක හා ඵලදායි ලෙස දෘශ්‍ය සන්නිවේදනය නියැළීමට ඔහු විසින් නිපුණතා පෝෂණය කරගත යුතුය.

දෘශ්‍ය සන්නිවේදන නිපුණතා

  •  රූප මැනවින් දැකීම.
  •  රූප මැනවින් හඳුනා ගැනීම.
  • අධ්‍යාපනික කාර්යය සඳහා රූප යොදා ගැනීම.
  • දෘෂ්‍ය සන්නිවේදන අංග යොදා ගනිමින් නිර්මාණය කිරීම.

සටහන:හිමාෂා නෙත්මිණි 

Saturday, October 4, 2025

ලිඛිත සන්නිවේදනය


ලිඛිත සන්නිවේදනය යනු, භාෂාව හා සංකේත මගින් කිසියම් අදහසක් ලිවීමෙන් ඉදිරිපත් කිරීමයි.ලිඛිත සන්නිවේදනය නිර්මාණාත්මක කාර්යයකි.

හෝඩියක් නිර්මාණය කරගත් මිනිසා ලිඛිත සන්නිවේදනයට යොමු විය. නූතනයේ දී විවිධාකාරයේ අරමුණු අපේක්ෂාවෙන්  ඊට සුවිශේෂ වූ ලේඛන ආකෘති මිනිසා යොදා ගනී.

උදාහරණය: නිසදැස්,ජීවදත්ත පත්‍රිකා, නවකතා, කෙටිකතා දැන්වීම්, රාජකාරි ලිපි, පෞද්ගලික ලිපි 

ලිඛිත සන්නිවේදනය සඳහා සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ. ලේඛනයේ යෙදීමටත්, ලේඛනය කියවීමටත් සාක්ෂරතාව අවශ්‍ය වේ.මිනිසා ලිඛිත සන්නිවේදනයට හුරු වීමෙන් ප්‍රතිඵලයක් වශයෙන් අදහස් හා තොරතුරු සංරක්ෂණය කරගැනීමට හැකියාව ලැබිණි.  නූතනයේ අධ්‍යාපනික පරිපාලනමය නිර්මාණාත්මක නෛතිකමේ සියලු කාරයන් සඳහා බහුලව භාවිතා කරන්නේ ලිඛිත සන්නිවේදනයයි.

ලිඛිත සන්නිවේදනය නිවැරදිව සිදුකළ යුතු අතර එය දෝෂ සහිත වුවහොත් සන්නිවේදනයට බාධා  ගොඩනැගේ.එබැවින් ලිඛිත සන්නිවේදනය ව්‍යාකාරානුකූලව සිදු කළ යුතු වේ. ඵලදායි හා සාර්ථක ලිඛිත සන්නිවේදනයක් උදෙසා පුද්ගලයා විසින් වර්ධනය කර ගත යුතු නිපුණතාවන් ඇත.

  • ලිවීමේ කුසලතා හඳුනා ගැනීම. 
  • සාක්ෂරතා නිපුණතාවය. 
  • පොත පත කියවීම.
  • නිරවුල් පැහැදිලි සංවිධානාත්මක ලිවීම.
  • නිර්මාණශීලී භාවය වර්ධනය කරගැනීම. 
සටහන:හිමාෂා නෙත්මිණි 

ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...