Sunday, December 7, 2025

ඩේව්ට් කේ.බර්ලෝ සන්නිවේදන අකෘතිය


ඩේවිඩ් කෙනෙත් බර්ලෝ සන්නිවේදන විද්‍යාඥයාගේ සන්නිවේදන ආකෘතිය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූවකි.ඔහු විසින් 1960 දී ලියන ලද 'The process of communication: An introduction to theory and practice' නැමැති ග්‍රන්ථයේදී මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.මෙහි මූලික ස්වරූපය දෙස බැලීමේදී සමාජ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ආකාරයෙන් සන්නිවේදනය අවබෝධ කර ගැනීමට දැරූ උත්සාහයක් සේ පෙනේ.

සන්නිවේදනය යනු ක්‍රියාවලියක් බව ඔහුගේ ඉගැන්වීමයි.ක්‍රියාවලියක් යනු එක් තැනක රැඳී පවතින්නක් නොව එය නිරන්තරයෙන්ම ඒ මේ අත ගමන් කරන්නකි.මහාචාර්ය බර්ලෝගේ සන්නිවේදන ආකෘතිය හඳුන්වන්නේ,S-M-C-R ආකෘතිය යනුවෙනි.

S-Source මූලාශ්‍රය (සන්නිවේදකයා)

M-Message පණිවුඩය

C-Channel නාලිය

R-Receiver ග්‍රාහකයා

01.මූලාශ්‍රය Source

යම් සංදේශයක් සකස් කර ගැනීමේදී එයට පාදක කරගන්නේ කිසියම් තොරතුරුු මූලාශ්‍රයකි.එම තොරතුරු මූලාශ්‍රය තෝරා ගැනීමේදී ඔහුගේ උත්තේජනය, රුචි අරුචිකම් ආදී ලක්ෂණ බලපෑමට පුළුවනි.මෙසේ විග්‍රහ කරන විට බර්ලෝ විසින් කරුණු පහක් දක්වා තිබේ.

  1. සන්නිවේදන හැකියාවන්
  2. ආකල්ප
  3. දැනුම
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය

සන්නිවේදන හැකියාවන්:සන්නිවේදකයෙකුගේ හැකියාවන් විග්‍රහ කළ හැකි වන්නේ ඔහුගේ හෝ ඇයගේ  ලිවීමේ ,කතා කිරීමේ ,කියවීමේ, සවන් දීමේ, සිතීමේ කුසලතාවන් පදනම් කරගෙනය.කෙබඳු සන්නිවේදකයකු වුවද තමන් සතු කුසලතාවන් ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ.

ආකල්ප: මෙය කරුණු තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.

  • තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.
  • වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
  • සන්නිවේදකයා ග්‍රාහකයා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.

දැනුම:සන්නිවේදකයෙකු සිය සන්නිවේදනයේ දී නිතරම උත්සාහ කරන්නේ සිය ග්‍රාහකයාට දැනුමක් ලබා දීමටයි.එසේ වුවත් මෙහිදී පැන නගින ගැටළු කිහිපයක් පවතී. 

  • තමා ප්‍රස්තුත කරගන්නා විෂය ගැන සන්නිවේදකයාට දැනුමක් පවතීද? 
  • එසේ නොවුනොත් අර්ථය නිසි පරිදි පෙළගස්වා ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔහුට නැත. 
  • අනෙක් අතට විෂය ගැන ගැඹුරු දැනුමක් ඇත්තෙකුටද අදාළ කණ්ඩායමට හෝ ජනමාධ්‍යයක් මගින් කරුණු ඉදිරිපත් කළ හැකිද?

මෙහිදී ඔහු භාවිතා කරන භාෂාව ජනමාධ්‍ය කාලය ගැටලු උද්ගත කරයි.සන්නිවේදන විද්‍යාඥයින් අතර මේ පිළිබඳ පවතින මත කිහිපයක් ඇත. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර සමාන දැනුම් මට්ටමක් පැවතීම අවශ්‍ය බව එක් මතයකි.අනෙක් අදහස වන්නේ සන්නිවේදකය හා ග්‍රාහකයා අතර දැනුම් පරතරයක් තිබීමද යෝග්‍ය බවයි. එසේ වූ විට ග්‍රාහකයා බැඳ තබා ගැනීමට හා විශ්වාසනීයත්වයක් ගොඩනගා ගැනීමටද එය ඉවහල් වන බවයි.

සමාජ පද්ධති: මානව සන්නිවේදන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ සමාජ පද්ධතියක් තුළය. එහිදී සන්නිවේදකයා තම සමාජ පසුබිම අනුව සංඥා ,සංකේත යනාදිය තෝරාගනු ලබයි. සමාජ පසුබිම, සමාජ තත්ත්වය, සමාජ සම්බන්ධය සියල්ල සන්නිවේදන කාර්ය හා සම්බන්ධ වේ.

සංස්කෘතිය:මානවයා තමා බිහි වූ සමාජය අනුගත වූ සංස්කෘතික සම්ප්‍රදායිකට අයත් වේ.ගෝත්‍රික, ග්‍රාමීය ,නාගරික යන කුමන සමාජ පරතරයකට අයත් වුවද ඔවුනට ආවේණික සංස්කෘතික ලක්ෂණ පවතී.බර්ලෝ සිය සන්නිවේදන ආකෘතියෙන් දක්වන මෙම ලක්ෂණය සන්නිවේදන විද්‍යාඥයන් අද බහුලව අවධානය යොමු කරන්නකි.සන්නිවේදනය සංස්කෘතියෙන් හෝ සංස්කෘතිය සන්නිවේදනයෙන් හෝ වෙන්කළ නොහැකි බව ඒ අනුව ගොඩනැඟුණු මතයකි.

02.පණිවුඩය Message

සන්නිවේදකය හා ග්‍රාහකයා අතර සම්බන්ධතාව ගොඩනැගෙන්නේ පණිවුඩය තුළිනි. පුද්ගලයන් දෙදෙනෙකු අතර සාරවත් සන්නිවේදනයක් ගොඩනැගෙන්නේ පණිවුඩයේ අන්තර්ගත ලක්ෂණ අනුවයි. බර්ලෝ පණිවුඩය විග්‍රහ කිරීමේදී කරුණු පහක් දක්වයි.

  1. මූලිකාංග
  2. ව්‍යුහය
  3. අන්තර්ගතය
  4. කේතය 
  5. ඉදිරිපත් කිරීම

මූලිකාංග: පණිවුඩයක් ගොඩනැගෙන්නේ එයට මුල් කරගන්නා යම් සිද්ධියක් අනුසාරයෙනි.එහි මූලික හරය කුමක්ද යන්න වටහා ගත යුතුය.

ව්‍යුහය: මෙයින් අදහස් කරන්නේ පණිවුඩයක් සකස්වීම, සංවිධානය කිරීම, ගොඩනැගීම යන්නයි.

අන්තර්ගතය: පණිවුඩයක් අර්ථවත් වන්නේ මෙහි අන්තර්ගත කරුණු අනුවය. අන්තර්ගතය දුර්වල වන්නේ නම් එය ග්‍රාහක අවධානයට හසු නොවේ.

කේතය: යමක් අප ප්‍රකාශ කරන්නේ සංකේත මුල්කරගෙනය. චිත්‍ර ,අකුරු ,ඉරි කැබිලි යනාදී විවිධ සංකේත පණිවුඩයක් සකස් කරන විට යොදා ගනී.එය නිර්මාණ ශිල්පියාගේ රුචිකත්වය අනුව ගොඩ නැගෙන්නෙනෙකි.චිත්‍ර ශිල්පියා සංගීත ශිල්පියා ගණිතඥයා තම අදහස් ප්‍රකාශයේ දී යොදා ගන්නා ක්‍රම වෙනස්ය.

ඉදිරිපත් කිරීම:ඉහත සඳහන් කරන ලද කරුණු හතරෙහිම සම්බන්ධතාව මෙයට පවතියි. පණිවුඩයක් ග්‍රාහකයාට යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කිරීමේ දී ආකෘතිය, අන්තර්ගතය මෙන්ම මාධ්‍යය ද වැදගත් වේ.යමක් ඉලක්ක කණ්ඩායමට කිව යුතු වන්නේ කෙසේද එහිදී යොදාගන්නා සන්නිවේදන විධික්‍රම කවරේද වඩාත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගත හැකි වන්නේ කෙසේද යනාදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

03.නාලිය Channel

නාලිය යනු යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කරන මාධ්‍යයි. තාක්ෂණික ක්‍රම භාවිතා කොට අප යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කල ද මානවයා අවසානයේ දී ග්‍රහණය කරගන්නේ තම පංචේන්ද්‍රිය තුළිනි.පංචේන්ද්‍රය නාලිය ලෙස බර්ලෝ ආකෘතියේදී දක්වා තිබේ.දැකීම ,ඇසීම ස්පර්ශය ,ආඝ්‍රහණය, රස බැලීම යනුවෙනි.ඇස කන නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රියයන් ආශ්‍රිතව නාලිකා ගැන විග්‍රහ කරයි. මේ වෙනත් සන්නිවේදන විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කළ ක්‍රමයට වඩා වෙනස් වූවකි.සන්නිවේදන විෂයේ පවතින ජීව විද්‍යාත්මක පසුබිම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම විවරණයේ වැදගත් වේ.

04.ග්‍රාහකයා Receiver

ග්‍රාහකයා පිළිබඳ විග්‍රහ කිරීමේදී කරුණු පහක යටතේ විවරණය කරයි. එහිදී 

  1. සන්නිවේදන කුසලතා
  2.  ආකල්ප 
  3. දැනුම 
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය 

යන කරුණුය.මෙයින් පැහැදිලි වන්නේ සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවයි. එක් වරෙක සන්නිවේදකයකු වන පුද්ගලයා තවත් වරෙක ග්‍රාහකයෙකු බවට පත්වෙයි. එම නිසා සන්නිවේදන ක්‍රියාවලියක් යනු, සන්නිවේදක කේන්ද්‍රීය මෙන්ම ග්‍රාහක කේන්ද්‍රීයව ගොඩනැගෙන්නෙකි.මුල් අවදියේදී සන්නිවේදකයා පමණක් ඉහළ තැනක සිටින බව පිළිගත් මතයට ප්‍රතිපක්ෂව බර්ලෝ ශ්‍රාම් වැනි විද්වතුන් විසින් දක්වන ලද විග්‍රහයක් ලෙස මෙය හැඳින්විය හැකිය.බර්ලෝ තවදුරටත් විග්‍රහ කරන්නේ ග්‍රාහකයාගේ පවත්නා අධ්‍යාපන සමාජ සම්බන්ධතා සංස්කෘතික පසුබිම යනාදී කරුණද සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වන බවයි.

සටහන: හිමාෂා නෙත්මිණි 



No comments:

ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...