Tuesday, November 25, 2025

දොරටුපාල සංකල්පය

(ඩේවිඩ් මැනිං වයිට්ගේ දොරටුපාල සංකල්පය)

සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා විසින් ග්‍රාහක ගත කරන පණිවිඩය යම් වාරණ ක්‍රියාවලියකට භාජනය වේ. මේ පිළිබඳ මූලික අදහස් දැක්වෙන සංකල්පයක් ලෙස ඉහත දැක්වෙන වයිට්ගේ දොරටුපාල සංකල්පය පෙන්වා දිය හැකිය.

දොරටුපාලක විසින් විවිධ ආකාර ලෙස සංදේශ වාරණයකට ලක් කරනු ඇත. සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරන සියලුම සංදේශ සංදේශ ග්‍රාහකයා වෙත ලැබෙන්නේ නැත. එනම් සංස්කරණයේ දී හෝ රූප රාමුවල ගුණාත්මක බව පිරික්සීමේදී හෝ ඇතැම් සංදේශ ඉවත්වීමක් සිදුවිය හැක.මීට අමතරව විවිධ වාරණ මණ්ඩල මගින් වාරණ බලධාරීන් මගින් ද ප්‍රවෘත්ති පාලනයකට ලක් කෙරේ.

උදාහරණ:යුද්ධය පැවති සමයේ යුධ පුවත් වාරණය.

ඩේවිඩ් මැනිං වයිට් විසින් හඳුන්වා දෙන ලද මෙම සංකල්පයේ ජනමාධ්‍ය කරණය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රවෘත්ති මූලිකාංගයකින් N1,N2,N3,N4 යනාදී වශයෙන්  තෝරා ගන්නා ලද ප්‍රවෘත්ති මූලිකාංග හතර ජනමාධ්‍ය ආයතනයක දොරටුවක් (Gate)මගින් තෝරා ගැනීමකට ලක්කර ඇත එහිදී N2 සහ N3 යන ප්‍රවෘත්ති මූලිකාංග පමණක් තෝරා ගෙන ග්‍රාහකයා වෙත ලබාදීමට කටයුතු කර ඇතිය අතර N1 සහ N4 යන ප්‍රවෘත්ති මූලිකාංගයන් ජනමාධ්‍ය ආයතනයේ දොරටුව විසින් බැහැර කර ඇත.

ජනමාධ්‍ය ආයතනයක දොරටුව නියෝජනය කරන දොරටුපාලකයින් ගණනාවකි.එනම් අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, සංස්කරණ ශිල්පියා සෝදුපත් බලන්නා යනාදී සෑම භූමිකාවක්ම එහි දොරටු පාලකයෝ වෙති.

✍️හිමාෂා නෙත්මිණි 

Thursday, November 13, 2025

සංවර්ධනය සඳහා සන්නිවේදනය

Communication for Development

"සංවර්ධනය සඳහා සන්නිවේදනය" යනු රටක හෝ ප්‍රජාවක පුළුල් හා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සන්නිවේදන ක්‍රියාවලි සහ මෙවලම් උපායශීලීව යොදා ගැනීමයි.මෙය ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරුවට වඩා, සංවාදය සහ සහභාගීත්වය මූලික කරගත් සමාජ ක්‍රියාවලියකි.

සංවර්ධනය සඳහා සන්නිවේදනය නිර්වචන

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය-

"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, සංවාදය සක්‍රීය කරවන ද්වීමාර්ග සන්නිවේදන පද්ධති මඟින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ සහ උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියට අදාළ තීරණ වලට සහභාගීව මැදිහත් වීමයි."

රෝම සම්මුතිය-

"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිතා කරමින් සංවාදය මත පදනම් වූ ක්‍රියාවලියකි. එසේම දැනුම නිපුණතා බෙදා හදා ගැනීම ගොඩනැගීම මෙන්ම ප්‍රතිපත්ති ,විවාද සහ ස්ථීරසාර වූ සංවර්ධනයක් සඳහා සවන් දීම, විශ්වාසය ගොඩනැගීම සහ විවිධ මට්ටම්වල වෙනස්කම් හඳුනා ගැනීමයි. එය මහජන සම්බන්ධතාවය හෝ ආයතනික සන්නිවේදනය නොවේ."

ස්වීඩනයේ මැල්මෝ විශ්ව විද්‍යාලය-

"ගෝලීයකරණ සන්දර්භයෙ හි සංවර්ධනය සඳහා සන්නිවේදනයේ භාවිතය යනු සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රමයකි."

සිල්වියෝ වයිස් බෝට් විසින් සංවර්ධනය සඳහා සන්නිවේදනය ප්‍රායෝගිකභාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් පහක් හඳුනාගෙන තිබේ.

-කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම.(පුද්ගලයන් හා ප්‍රජාවන් දැනුම අත්පත් කර ගැනීම හා ගැටුම් සම්පාදනය කිරීම)

-ඉහළ පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම.

-සන්නිවේදන මෙවලම් භාවිතා කිරීම.

-පුද්ගලාන්තර හා ජන සන්නිවේදනය අතර සමබරතාව නිර්මාණය කිරීම.

-පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය දීම.

ශ්‍රීනීවාස් මෙල්කෝට් සංවර්ධනය සඳහා සන්නිවේදනය යනුවෙන් දක්වා ඇත්තේ,

-විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසඳුම් සොයා ගැනීම.

-මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම.

-ආගමික බැඳීම් වලින් තුන්වැනි ලෝකයේ විමුක්තිය ලබා ගැනීම.

-සන්නිවේදනය සහ සමාජ ව්‍යුහය පිළිබඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම.

-තුන්වෙනි ලෝකයේ සංවර්ධනය සඳහා සන්නිවේදනය වැඩිදියුණු කර ගැනීම පිණිස යෝජනා හා ඒවා සිදුකළ හැක්කේ කෙසේද යන යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරෙන් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීමයි.

✍️ හිමාෂා නෙත්මිණි 


Wednesday, November 12, 2025

මාධ්‍ය සංස්කෘතිය

සමාජය තුළ මාධ්‍ය පරිහරණය බහුල වීම නිසා ඒ හා බැඳුණු සමාජ චර්යා රැසක් පහළ විය. එම ජීවන වෙනස්කම මාධ්‍ය සංස්කෘතිය ලෙස හඳුනා ගනී.නව භෞතික සම්පත් සමාජය තුළට දායක වන්නා සේම නව සමාජ චර්යා රටාවන්ද ඒ තුළින් ඇති වේ. පෙර මිනිසුන් ජනශ්‍රැතිය හා බැඳෙමින් ජීවත් වුවද මාධ්‍ය සංස්කෘතිය ඇතිවීමත් සමඟ චර්යාත්මක වෙනස්කම් රැසක් සිදුවිණි.

ආකල්පමය වෙනසක්ද මාධ්‍ය සංස්කෘතිය තුළින් ඇති වේ. මිනිසාට දැනුම පිපාසාව තොරතුරු පිපාසාව මාධ්‍ය සමාජයට හඳුන්වා දීම නිසා ඇති වූවකි. මේ අනුව ලොව වටා රට වටා තොරතුරු එක් රැස් කරගෙන විවිධ විෂය කරුණු වලින් පරිණත වී බුද්ධිමය විමසුමකින් ජීවත් වීමට මාධ්‍ය පරිශීලනය තුළින් හැකි විය. මේ තුළින් තොරතුරු ලොවක අප ජීවත් වන්නා යන ආකල්පය වෙනස ජනතාව ලබා ගනී.

මාධ්‍ය සංස්කෘතිය මානව පරිණාමයේ මෑතක දී බිහි වූ සංස්කෘතික ස්වරූපයකි.මෙය විසිවන සියවස මැද බිහිවූ සංස්කෘතිකවේදී විෂයේ අංගයක් ලෙස මාධ්‍ය සංස්කෘතිය නම් විෂය බිහිවී වර්ධනය වී ඇත. මාධ්‍ය සංස්කෘතිය යනු මාධ්‍ය බිහිකළ සංස්කෘතිය යන්නයි. මිනිසාගේ කාලීන සමාජ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව මාධ්‍ය විසින් එකී මිනිස් අවශ්‍යතා පෝෂණය කරමින් ඒ මත තත්ත්වාරෝපණය වෙමින් මාධ්‍ය පුද්ගල ජීවන රටාව මාධ්‍යයට අවැසි පරිදි ගොඩනැංවීම තුළ මාධ්‍ය සංස්කෘතිය බිහිවිය.

ලෝක සංස්කෘතික අධ්‍යයනයෙන් ළදරුවෙකු ලෙස මාධ්‍ය සංස්කෘතිය නම් වූ පාරිභාෂිත පදය බිහි වන්නේ විසිවන සියවසේ තෙවන කාර්තුවේ දී. මෙය සමකාලීන සංස්කෘතියේ සුවිශේෂී අංගයකි.විසිවන සියවස වන විට මාධ්‍ය යන වචනයේ සංස්කෘතිය අංග අර්ථවත් කිරීම සඳහා යොදා ගැනේ. සංස්කෘතියන් නිර්මාණය වී ඇති දැනුම, ඇදහිලි, විශ්වාස, කලාව, නීතිය, සදාචාරය යනාදී අනේක විධි සාධකයන්ගේ තොරතුරු ජන සංස්කෘතිය පුරා ව්‍යාප්ත වීම තුළ ගොඩනැගෙන සංස්කෘතිය මෙය වේ.වෝල්ටර් බෙන්ජැමික් විසින් විසිවන සියවසේ දී මාධ්‍ය සංස්කෘතිය සඳහා අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය කරන ලදී.

සමකාලීන මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ අධ්‍යයනය කළ මාෂල් මැක්ලුහන් මෙම සංකල්පය පෝෂණය කිරීමෙහිලා විශාල දායකත්වයක් සැපයීය.ඔහු විසින් මෙහිදී අංශ කිහිපයක් අධ්‍යනය කරනන ලදී.

  • මාධ්‍ය හා සමාජය                                        
  • මාධ්‍ය හා සංස්කෘතිය 
  • මාධ්‍ය හා සංදේශ 
  • මාධ්‍ය හා අර්ථ 
  • මාධ්‍ය හා මාධ්‍ය සංදේශ සංජානනය

මාෂල් මැක්ලූන්ගේ මාධ්‍ය සංස්කෘතික සංකල්පයට අනුව මුළු මානව ශිෂ්ටාචාරයේ ප්‍රධාන අවධි තුනකට බෙදා දක්වා ඇත.

  • ප්‍රාග් ලිඛිත සංස්කෘතික අවධිය
  • ලිඛිත මුද්‍රිත අවධිය
  • දෘශ්‍ය අවධිය

මාෂල් මැක්ලුහන්ගේ මාධ්‍ය සංස්කෘතික සංකල්පය ඉතා සංකීර්ණ සංකල්පයක් වන අතර පුළුල් ස්වභාවයක් ගනී. මිනිසාගේ මිනිස් ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වන මෙන්ම ආධාර වන සියලුම මාධ්‍යයන් මෙම යුග තුනට අදාළ වේ. මෙකී සියලු මාධ්‍ය ඔස්සේ සිදුවන්නේ මිනිසාගේ සංවර්ධනයකි. බාහිර ප්‍රසාරණයකි. මිනිසාගේ පංචේන්ද්‍රියන්ගේ සංවේදී ශක්‍යතා වර්ධනය වන වනාහි ප්‍රසාරණය ඔස්සේ එකී ශක්‍යතා මිනිසාගේ ඉවත්වී මිනිසාට එරෙහි බාහිර බලයක් ලෙස ක්‍රියා කරයි. මේ ආකාරයෙන් මාධ්‍ය පුද්ගලයා ආක්‍රමණය කිරීම මාෂල් මැක්ලුහන් අංග ඡේදනය නමින් අර්ථ දක්වයි.

මාධ්‍ය සංස්කෘතිය යනු" පුද්ගලයා සමාජානුයෝජනය කිරීම සඳහාත් සමාජය මතය හැඩ ගැසීම සඳහාත් උපකාර වන මානවයා විසින් මානව පරිණාමය තුළ නිර්මාණය කරන ලද තොරතුරු සන්නිවේදන මාධ්‍යයන්ගේ සම්ප්‍රේෂණයයි."මෙය තවත් ලෙසකින් පෙන්වා දෙන්නේ නම් " විවිධ මහද්වීප හා රටවල් අතරද පුද්ගලයා හා සමාජය අතර ද රාජ්‍ය හා සමාජය අතරද සක්‍රීයව ක්‍රියා කරන තොරතුරු සන්නිවේදනාත්මක මාධ්‍යයන්ගේ සමස්තයයි."

✍️හිමාෂා නෙත්මිණි 


Sunday, November 9, 2025

සංස්කෘතිය CULTURE

සංස්කෘතිය යනු, මිනිසාගේ ජීවන ක්‍රමයයි. සංස්කෘතියන් නිර්මාණය වූයේ හා වර්ධනය වූයේ මානවයාගේ මානව සම්බන්ධතාවන්හි ප්‍රතිඵලය මත වෙයි. මානවයා මිහිපිට පහළ වූ මුල් කාල වකවානුවක් අශීලාචාර අශිෂ්ඨ හා මිලේච්ඡ ස්වභාවයක් ගැනිණි. එබැවින් ඊට ප්‍රති පාර්ෂවයත් විකල්පයක් වශයෙන් සංස්කෘතිය නම් සම්භාව්‍ය ජීවන රටාවකට මිනිසා අනුගත විය.එය සංස්කෘතිය නම් විය. මිනිසා සහ සත්වයන් එකිනෙකට වෙනස් කොට හඳුනාගත හැකි මූලික සාධකය වන්නේ මිනිසාට පමණක් හිමි සංස්කෘතිය හේතුවෙනි.

සංස්කෘතිය ගතික වේ. එකී ගතිකත්වය මිනිස් ලැදිය හා අවශ්‍යතා මත තීරණය වේ. සංස්කෘතිය යනු ප්‍රකෘතියේ විකෘතියකි. ප්‍රකෘතිය යනු ස්වභාවධර්මයයි. විකෘතිය යනු සමාජයයි. ප්‍රකෘතිය නියමයන්ට සීමා නොවෙමින් විකෘතිය නොහොත් සමාජයට අදාල නියමයන්ට අනුව ජීවත්වීම සංස්කෘතිය ගොඩනැගේ. ඒ අනුව ප්‍රකෘතිය මානව අවධානයට හා ක්‍රියාකාරීත්වයට නතුවීමෙන් ගොඩනැගෙන සියලු වටිනාකම් සංස්කෘතිය ලෙස හදුන්වයි.

සංස්කෘතියක් හැඳින්වීම සඳහා Culture යන පදය භාවිතා කෙරේ.Culture ලතින් පදයෙන් බිඳී ආවකි. එහි අර්ථය වගා කිරීම, පිළිසකර කිරීම,රෝපණය කිරීම යන්නයි. මාකස් පර්සියස් කැටෝ විසින් එම වචනය කෘෂිකර්මාන්තය සඳහා Agriculture ලෙස යොදාගෙන ඇත  නමුත් රෝම කථිකයෙකු, දාර්ශනිකයෙකු ,රාජ්‍ය පාලකයෙකු වූ මාර්කස් මූලීස් සීසර් විසින් මානව අධ්‍යාත්මයට සමාන වචනයක් ලෙස මෙය භාවිතා කරන ලදී. ඔහු විසින් සංස්කෘතිය ආත්මය හා බුද්ධියෙන් දර්ශනය ලෙස සැලකූ අතර මිනිසාගේ බුද්ධිය හා ආධ්‍යාත්මය පරිපූර්ණත්වයට පත් කිරීමේ ගුණයක් සංස්කෘතියට ඇති බව සීසර් පෙන්වා දෙන ලදී.

සංස්කෘතය යනු කුමක්ද පැහැදිලි කිරීම සඳහා විවිධ සන්නිවේදන විද්වතුන්, දාර්ශනිකයන් විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. එනම් එඩ්වඩ් ටයිලර්, බී.මැලිනොව්ස්කි, රැල්ෆ් ලින්ටන් මේ අතර වෙයි. 

සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියකි.  සමාජයේ එකිනෙකට බැඳ තබනු පොදු වටිනාකම්, විශ්වාස ආදී සෑම සමාජ ක්‍රියාකාරකමක් ම සංස්කෘතියට අදාළ වේ.මිනිසා යන එන, කන බොන, අඳින පළඳින, හැසිරෙන, කතාබහ කරන සෑම සමාජ ක්‍රියාකාරකාමක්ම සංස්කෘතියට අදාළ වේ.

සංස්කෘතික නිර්වචන

ඊ බී ටයිලර්

"දැනුම, ඇදහිලි, විශ්වාස, නීතිය ,කලාව සදාචාරය ,සිරිත් විරිත් හා සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් සාක්ෂාත් කරගත් පුරුදු පුහුණු හැකියාවන් ඇතුළත් සංකීර්ණ සමස්තයයි."

බී. මැලි නොව්ස්කි

"උපකරණ ,පාරිභෝගික ද්‍රව්‍ය ,විවිධ සමාජ සමූහයන්ගේ ව්‍යුහමය ලක්ෂණ, මානව සංකල්පනා, ශිල්ප, විශ්වාස හා චාරිත්‍රයන්ගෙන් අනුබද්ධ සමස්තයයි"

Dynamic Of Mass Communication

"සංස්කෘතිය යනු සංකීර්ණ ක්‍රියාවලියකි සමාජය එකට බැඳ තබන පොදු වටිනාකම් විශ්වාස සමාජ ක්‍රියාකාරකම් නීති කල්පිතයන් යන්න සංස්කෘතියට ඇතුළත් වේ."

හිමාෂා නෙත්මිණි 

Saturday, November 8, 2025

මහජන සම්බන්ධතා නිර්වචන


වෙබ්ස්ටර්  නව කොලීජීයෙට් ශබ්ද කෝෂය(Webster New Collegiate Dictionary)

"මහජන සම්බන්ධතා යනු, පුද්ගලයකු සමාගමක් හෝ ආයතනයක් පිළිබඳ දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා ජනතාව පොළඹවනු ලබන්නා වූ ක්‍රියාදාමයකි."

එඩ්වට් එල්.බර්නීස් (Edward L.Bernays)

"මහජන සම්බන්ධතාවය යනු යම් ආයතනයක් සම්බන්ධයෙන් සංදේශ විකාශනය කිරීමට හා ඒවා මගින් මිනිසා පෙළඹවීමට යම් මතයක් කරුණක් ,සිද්ධියක්, ව්‍යාපෘතියක් ඇති කිරීමට හා හැඩ ගැසීමට උපකාරී වන විෂයකි."

චාල්ස් ප්ලැකාඩ් (Charles Placard)

"යහපත් සිතින් යුතුව මානව සදාචාර සම්පන්න භාවය ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මහජන සම්බන්ධතා ලෙස සරලව හැඳින්විය හැකිය."

සෑම් බ්ලැක් (Sam Black) 

"කිසියම් සංවිධානයක් සබඳතා පවත්වන අභ්‍යන්තර හා බාහිර සියලු දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා කරනු ලබන සෑම දෙයක්ම මහජන සම්බන්ධතා නම් වේ."

බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනය (British Chartered Institute Of Public Relationship)

"සංවිධානයක් විසින් ඒ හා බැඳී පවතින මහජනතාව අතර හොඳ හිත හා අවබෝධ ඇති කිරීම හා එය පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත මෙන්ම ස්ථීරසාර උත්සාහ මහජන සම්බන්ධතා වේ."

✍️හිමාෂා නෙත්මිණි 

Friday, November 7, 2025

මහජන සම්බන්ධතා

මහජන සම්බන්ධතා යන්න සරලව හඳුන්වන්නේ කීර්තිමත් නාමයක් ඇති කිරීම සඳහා පුද්ගල අදහස් සහ හැසිරීම් වලට බලපෑම් කිරීම  යනුවෙනි. හොඳ හිත අන්‍යෝන්‍ය අවබෝධය ස්ථාපනය කිරීම, පවත්වාගෙන යාම සඳහා සැලසුම් සහගතව ගන්නා වූ ස්ථීරසාර ප්‍රයන්තයක් ලෙස මහජන සම්බන්ධතා හැඳින්විය හැකිය. මහජන සම්බන්ධතා යන්නෙන් සමාන හා පොදු අවශ්‍යතා සහිත පුද්ගලයෝ සමූහයක් නියෝජය වෙති. ඔහු විවිධ අවශ්‍යතා බලාපොරොත්තු හා ඉලක්ක වලින් යුතු සමූහයකි. එනම් ගනුදෙනුකරුවන්, විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්, ආණ්ඩු ආයතන හෝ වෙනත් මැදිහක්කරුවන් විය හැකිය.සම්බන්ධතා යන්නේ අදහස් වන්නේ පොදු උදහස් හා ක්‍රියාකාරකම් බෙදා ගැනීමේ ක්‍රියාවලියෙන් ලැබෙන අන්‍යෝන්‍ය අවබෝධයයි. කිසියම් දෙපාර්ශවයක සම්බන්ධතාවල ගැඹුරු මානව ගුණාංග ඇත.

සන්නිවේදනය පුද්ගලයා සංවිධාන හා කෙරෙන සන්නිවේදනය වඩාත් සමීප හා අභිවෘද්ධිදායක කරනුයේ මහජන සම්බන්ධතා මඟිනි. සමාජ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය වීමේදී ඊට අනුකූල වන ලෙස ඒ සමාජ සංස්ථාවල තොරතුරු සම්පාදනය ද පුද්ගලය හා ජන කණ්ඩායම් අතර වඩාත් විධිමත් ලෙස ව්‍යාප්ත විය යුතුය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු, හුදෙකලාව පවතින තත්ත්වයක් වෙනුවට උපක්‍රමශීලී ලෙස සකසන සන්නිවේදනාත්මක සංදේශයකට හසුවීමක් ලෙස සැලකිය හැකිය.

මහජන සම්බන්ධතා සංකල්පය කෙමෙන් වර්ධනය වී සමාජයේ පවත්නා විවිධ ශාඛාවලට පැතිර තිබේ. වෙළඳාම්, ව්‍යාපාරික කටයුතු, රෝහල්, සමිති සමාගම් රජය පරිපාලන කටයුතු රාජය නොවන සංවිධාන ආදිය පවත්වාගෙන යාම සහ රැකියා කේන්ද්‍රගතව ක්‍රියාත්මක වීම දක්වා විවිධ ක්ෂේත්‍ර වලට ඒ ව්‍යාප්ත වී ඇත.

මහජන සම්බන්ධතාවය යනු, 

කළමනාකාරණ කාර්‍යකි.

මහජන සම්බන්ධතාවයට යන්ත්‍ර, සන්නිවේදනය හා ජනමාධ්‍ය භාවිතා කරයි.

මුදල් වැය නොවේ. 

සෑම සංවිධානයකටම අවශ්‍ය වේ.

දීපාර්ශ්වික හෝ අන්තර් ක්‍රියාකාරී ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.

සැලසුම් සහගත සංවිධානාත්මක දෙයකි.

මහජන සම්බන්ධතා මගින් ඇති කරනු ලබන සබඳතාව කෙටිකාලීන වූවක් නොව දිගු කාලීන වූවක් බව පැහැදිලි කරයි.

අරමුණු සහ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් පුළුල් ආකාරයෙන් ප්‍රායෝගිකව ආවරණය කරනු ලබන්නකි.

ආයතනයක් හා සම්බන්ධතා පවතින්නේ තනි පුද්ගලයෙකු නොව පාරිභෝගිකයා නැතහොත් ජනතාව වන බව මහජන සම්බන්ධතා පෙන්වා දෙයි.

හිමාෂා නෙත්මිණි 

Monday, November 3, 2025

විචාරශීලී ග්‍රාහකයා

"සක්‍රීය මාධ්‍ය ග්‍රාහකත්වයේ අපට නිසගයෙන්ම හෝ සහජයෙන් හෝ ලැබෙන බලයක් නොව ඒ හැදෑරිය යුතු විෂයකි. එමගින් නොයෙකුත් ජනමාධ්‍ය ජනප්‍රිය සංස්කෘතිය නව තාක්ෂණය පිළිබඳ විමසා බැලීමට අවස්ථාව ලබා දේ'' -ඩග්ලස් කෙල්නර්-

අප ජීවත් වන්නේ මාධ්‍ය ලෝකයක වේ. දෛනිකව විවිධාකාරයේ මාධ්‍ය සංදේශ පුද්ගලයාට හා සමාජය වෙතට ගලා එයි. එකී මාධ්‍ය සංදේශ හුදෙක් නිර්මාණය වේ. මේවා තුළ සත්‍ය අසත්‍ය අන්තර්ගත වී ඇත. එබැවින් මාධ්‍ය මාධ්‍යයන්ගේ ආකූල වු සමාජයක් තුළ ජීවත් වන ග්‍රාහකයා එකී මාධ්‍ය සංදේශයන් හි සත්‍ය අසත්‍යතාවය නිවැරදි ලෙස තහවුරු කර ගැනීමට සමත් විය යුතු වේ. එහිදී ග්‍රාහකයා විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීම සහ මාධ්‍යයේ මායාව සහ යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතා ඥානයෙන් පෝෂණය විය යුතුය.අප වෙත ලැබෙන  සෑම මාධ්‍ය සංදේශයක්ම එම අයුරින්ම භාරගෙන ඒවා පිළිබඳ ප්‍රශ්න කිරීමට විචාරශීලී ග්‍රාහකයා සමත් විය  යුතු වේ. මෙහිදී ජනමාධ්‍ය තේරුම් ගැනීමටත් විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීමටත් මාධ්‍ය යථාර්ථය හා මායාව තේරුම් ගැනීමටත් සමත් විය යුතු වේ.

විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශ වලින් ප්‍රශ්න කරයි. තොරතුරු ලැබෙන්නේ කෙසේද? කාගෙන්ද? කිනම් මූලාශ්‍රයකින්ද? කවුරුන් උදෙසාද යන්න පිළිබඳව සෑම විටම විමසා බලයි. එබැවින් විචාරශීලී ග්‍රාහකයා වනාහී සාමාන්‍ය ග්‍රාහකයා අතරින් සුවිශේෂී සක්‍රීය ග්‍රාහකයෙකු වේ.

විචාරශීලී ග්‍රාහකයා සතු විය යුතු කුසලතා

විශ්ලේෂණය

සංදේශයක් තේරුම් ගත හැකි ආකාරයට එය කොටස් වලට කඩා වෙන්කර හඳුනා ගැනීමයි.

තක්සේරුකරණය

මාධ්‍ය සංදේශයක ගුණාගුණ සොයාබලෙමින් තක්සේරු කිරීමයි. නැත්නම් ප්‍රවෘත්තියක සංදේශයක යෝග්‍ය අයෝග්‍යතාවය තහවුරු කිරීමයි.

කාණ්ඩකරණය 

තොරතුරක් නැතහොත් ප්‍රවෘත්තියක  කරුණුවල සමාන අසමාන කොටස් සංසන්දනය කිරීම වේ.

අනුමානය 

කුඩා කරුණු ප්‍රමාණයකය විද්‍යාමාන වන රටාව හඳුනාගෙන ඊට වඩා විශාල කරුණු ප්‍රමාණයක පොදු රටාව හඳුනා ගැනීමයි.

නිගමනය 

පොදු කරුණු උපයෝගී කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි.

සංස්ලේෂණය 

තිබෙන කොටස් එකට එකතු කොට නව ව්‍යූහයක් සකසා ගැනීමයි.

වියුක්තිකරණය

කිසියම් ප්‍රවෘත්තියක තොරතුරක අඩංගු හරය නිරවුල්ව පැහැදිලිව කෙටියෙන් සම්පින්ඩනය කර ගැනීමේ හැකියාවයි.

විචාරශීලී ග්‍රාහකයෙකු සතු විය යුතු කුසලතා මේ පරිදි පෙන්වා දිය හැක. මෙකී කුසලතා වලින් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙකු සතු බලගන්වයි.

✍️හිමාෂා නෙත්මිණි 

ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...