Thursday, September 4, 2025

සන්නිවේදන අධ්‍යයනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

සන්නිවේදනය යනු මානවයාගේ සියලුම මානව සබඳතා පැවැත්වීමේ හා වර්ධනය කර ගැනීමේ ක්‍රමවේදයයි.විශ්වය පුරා මානවයාගේ සියලු බැඳීම් එකට බැඳ තබන රැහැන වන්නේ ද සන්නිවේදනයයි.එපමණක් නොව කිසියම් සමාජ ක්‍රමයක රඳා පවතින සාධකය වන්නේ ද මෙයයි.ඒ අනුව සන්නිවේදනය මුළු විශ්වය පුරා විවිධ වෙනස්කම් සහිතව ක්‍රියාත්මක වන විශ්වීය මට්ටමේ සංකල්පයක් බව පැහැදිලි වේ.මෙතරම් වැදගත්කමක් ඇති සන්නිවේදනය පිළිබඳ මිහිපිට ජීවත් වෙන සෑම දෙනාම අධ්‍යයනය කිරීම ඉතා වැදගත් වේ.ඒ අනුව ශ්‍රී ලංකාවට දී සන්නිවේදන අධ්‍යයනය නම් විෂය හඳුන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයන ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ,1968-1969 අතර කාලයේ ය.එවකට අධ්‍යාපන ඇමති වශයෙන් කටයුතු කළ R.A ඊරියගොල්ල මහතාගේ මූලිකත්වයෙනි.ශ්‍රී ලංකාවේ මුල්වරට දෙහිවල කනිෂ්ඨ විශ්ව විද්‍යාලය තුල ආරම්භ කරන ලද පුවත්පත් කලාවේදය නම් පාඨමාලාව තුළින් මුල්වරට ශ්‍රී ලංකාවට සන්නිවේදන විෂය පිළිබඳ අධ්‍යාපනය ලබා දීම ආරම්භ කර ඇත.පුවත්පත් කලාවේදය නම් පාඨමාලාවේ විෂය නිර්දේශය සම්පාදනය කරන ලද්දේ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා විසිනි.සන්නිවේදනය පිළිබඳ දැනුම ලබාදීම අරමුණු කොට ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම පාඨමාලාව ක්‍රියාත්මක වූයේ වසර දෙකක තරම් සීමිත කාලයක් පමණි.මෙම විෂය නිර්දේශය ඉගැන්වීමේ දී පැන නැගුණු යම් යම් ගැටලු හේතු කොට ගෙනත් විෂය ඉගැන්වීමට පුහුණු ආචාර්යවරුන් නොමැති විම හේතු කොට ගෙනත් පුවත්පත් කලාවේදය නම් පාඨමාලාව වසර දෙකකට සීමා විය.
ශ්‍රී ලංකාවට සන්නිවේදන අධ්‍යයන විෂය හඳුන්වා දීමෙන් අනතුරුව 1971 වර්ෂයේ ඇතිවූ කැරැල්ලේ බලපෑම මත ශ්‍රී ලංකා රජය සන්නිවේදන අධ්‍යයනය විෂය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිට හඳුන්වාදීමට කටයුතු කරයි.විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඒ වනවිට ක්‍රියාත්මක වූ සම්ප්‍රදායික විෂයක් වෙනුවට කිසියම් වෘත්තියක් ඉලක්ක ගත කරමින් පාඨමාලාව හඳුන්වාදිය යුතුව යනුවෙන් රැගත් තීරණය මත මුල් වරට 1973 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයට ජන සන්නිවේදන අධ්‍යයනය නමින් පාඨමාලාවක් හඳුන්වා දෙන ලදී.මෙය විධිමත් හා සැලසුම් සහගත අයුරින් සිදුකිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරන ලදී.ඒ අනුව ජනසන්නිවේදන අධ්‍යනාංශයේ නමින් අධ්‍යනාංශයක් විෂය ඉගැන්වීමට විද්වත් කථිකාචාර්යවරුන් දෙපළ ලෙස  මහාචාර්ය විමල් දිසානායක              සුනන්ද මහේන්ද්‍ර                                        පත් කරන ලදී.මීට අමතරව මහාචාර්ය M.D ආරියපාල,මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර,D.C රණතුංග හා එඩ්වින් ආරියදාස යන මහත්වරුන්ගෙන් ප්‍රමුඛ වෙත කමිටුවක් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව මගින් පත්කරන ලදී.මෙහි ඉගැන්වීම් කටයුතු වඩා සාර්ථක අන්දමින් කරගෙන යාමට බාහිර කථිකාචාර්ය  මණ්ඩලයක්ද පත්කරන ලදී.පියසෝම මේදිස්,D.B නිහාල්සිංහ,K.ජයතිලක,මහගමසේකර,W.D අමරදේව,පියසිරි ගුණරත්න යන මහත්වරුන් ඒ අතර විය.1972 වර්ෂයේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පුවත්පත් කලාව නමින් ඩිප්ලෝමා පාඨමාලාවක් භාවිතා කර තිබේ.මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වසරක් වැනි කෙටි කාලයක් තුළම අවලංගු වී ඇත.
1960 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවය හා ලේක්හවුස් ආයතනය මූලික වෙමින් වෘත්තීය මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ පාඨමාලාවක් ආරම්භ කොට ඇත. මෙම පාඨමාලාව වඩා සාර්ථකව ක්‍රියාත්මක වී ඇත.ඊට හේතුව වන්නේ මෙම පාඨමාලාව තුළින් න්‍යායාත්මක හා ප්‍රායෝගික යන ද්වි දැනුම මෙම පාඨමාලාව තුළින් ලබා දීමයි.

ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂය ඉගැන්වීමේ හා විෂය වපසරිය සංවර්ධනය කිරීම සඳහා විවිධ වූ ක්‍රියාමාර්ගයන් ගෙන ඇත.සන්නිවේදනය විෂය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රවේදි (BA) හා විශේෂ ශාස්ත්‍රවේදී BA(SP)යන උපාධි මට්ටම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිපාදන සම්පාදනය කොට ඇත.
සන්නිවේදන විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රැසක සහතික පත්‍ර පාඨමාලා,ඩ්ප්ලෝමා පාඨමාලා,සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධි,විශේෂ ශාස්ත්‍රවේදී උපාධි,පශ්චාත් උපාධි,ආචාර්ය උපාධි මට්ටම් දක්වා පාඨමාලා සංවර්ධනය වී ඇත.
1982 වර්ෂයේ යුනිස්කෝ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද ගෲන්වල්ට් ප්‍රකාශය තුළින් ඉදිරිපත් කරනු ලබන්නේ,   "පාසලේ ප්‍රාථමික ශ්‍රේණියේ සිට වැඩිහිටි අධ්‍යාපනය දක්වා උසස් අධ්‍යාපනය තුළටත් මාධ්‍ය අධ්‍යාපනය ලබා දිය යුතු බවයි"                                                               
ඒ අනුව 2006 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය නමින් විෂයක් හඳුන්වා දෙන ලදී.2006 වර්ෂයේ දහවන ශ්‍රේණියටත්,2007 වර්ෂයේ එකොළස්වන ශ්‍රේණියටත් අතිරේක විෂයක් ලෙස සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හඳුන්වා දෙයි.2008 වර්ෂයේ උසස් පෙළ කලා විෂය ධාරාවට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂය හඳුන්වා දෙනු ලබයි.නූතනය තාක්ෂණ විෂය ධාරාවටත් වාණිජ විෂය ධාරාවට සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයන විෂය හැදෑරීමේ අවකාශයත් සලසා දී ඇත.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පරාසයක් වෙනස් වන සමාජ ක්‍රමයට අදාළව කාලීනව සංකීර්ණ තත්ත්වයකට පත් වේ.සෑම වෘත්තියක් සඳහාම අවශ්‍ය මූලික සුදුසුකම වන්නේ ඵලදායි සන්නිවේදන කුසලතා හා නිපුණතාවන්ය.එබැවින් නූතනයේ මෙම විෂයට ඇති ඉල්ලුම ඉතාමත් වැඩි වී ඇත.රාජ්‍ය හා පෞද්ගලික යන අංශ ද්විත්වයේ ම සන්නිවේදන විෂය විවිධ ක්ෂේත්‍රයන්ට අනුව අධ්‍යයනය කර ඇත.එබැවින් දිනෙන් දින දියුණුවන ලෝකයත් සමඟ සන්නිවේදනය පෝෂණය වී ඇත.

සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විශේෂ ශාස්ත්‍රීය විෂයක් ලෙස අධ්‍යයනය කිරීම කාලීනව වැදගත්වේ.මිනිසාගේ පැවැත්ම තීරණය කරන සාධකය වන්නේ වන්නේ ද සමාජයක් තුළ අන්‍යෝන්‍ය වශයෙන් ගුණාත්මක සබඳතා ගොඩනගා ගත හැකි වන්නේ ද ඕනෑම පුද්ගලයකුගේ වෘත්තීමය වටපිටාව තුළ ක්‍රියාශීලී පුද්ගලයකු වීමට අවශ්‍ය ඵලදායි සන්නිවේදන කුසලතාවය අත්පත් කරගන්නේ ද සන්නිවේදනය හා මාධ්‍ය විෂය හැදෑරීම තුළිනි.සමාජය තුළ ජීවත්වන සෑම පුද්ගලයකුටම තොරතුරු ලබාදෙන සාම්ප්‍රදායික නූතන හා නව මාධ්‍යයන් සියල්ලන්ගේම ස්වභාවය හා එහි යථාර්ථවත් ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීමටත් විචාරශීලී බුද්ධියකින් යුක්තව මාධ්‍ය පරිහරණය කිරීමට හැකියාව ලැබෙන්නේ මෙම විෂය ප්‍රායෝගික හා න්‍යායාත්මක හැදෑරීම තුළිනි 

සටහන:හිමාෂා නෙත්මිණි 


ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...