Wednesday, December 17, 2025

ග්‍රාහකයා-Receiver

 

ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්ම සිටින්නේ නැත. ඔහු පෙරළා සන්නිවේදකයෙකු ද වෙයි. එබැවින් සන්නිවේදක කේන්ද්‍රීය ලක්ෂණ මෙන්ම ග්‍රාහකක කේන්ද්‍රීය ලක්ෂණ සලකා බැලිය යුතුය.   

ඔවුනොවුන්ගේ වෘත්තිය අනුව කොටස් කළ නොහැකිය. එම නිසා පුළුල් සමීක්ෂණවලින් නව මාධ්‍යවේදීන් විසින් තම ග්‍රහක කණ්ඩායම් ගැන අවබෝධයක් ලබාගත යුතුය. අනවබෝධයෙන් ඉදිරිපත් කරන සංදේශ ග්‍රහකයාගේ මෙන්ම සන්නිවේදකයාගේ ද සන්නිවේදකයාගේද කාලය විනාශ කර දමයි. ග්‍රාහකයාගේ ස්වභාවය ඔහුගේ දැනුම මට්ටම හා ආකල්ප අනුව වෙනස් වේ. ආකල්ප යනු කුමක්දැයි පැහැදිලි කිරීම තරමක් අපහසුය. එහෙත් ආකල්පය යන්න සමහරවිට අවබෝධය යන්නට ද වඩා වැදගත් වන අවස්ථාවන් තිබේ. ආකල්ප සරල ලෙස විග්‍රහ කරන විට මිනිසුන් සිතන පතන ආකාරයත් ඔවුන්ගේ ප්‍රතිචාර යනාදියත් ඇතුළත් වෙයි. එය අදහස් මත ආකල්ප දෘෂ්ටිය යනාදියෙන් පැහැදිලි කර ගත හැකිය. 

සන්නිවේදන ක්‍රියාවලියේ දී ආකල්ප යන්න අවස්ථා තුනක් යටතේ සාකච්ඡා කරනු ලබයි.

  • සංදේශ මූලාශ්‍රය පිළිබඳ ආකල්පය
  • සංදේශය ගැන ඇති ආකල්පය 
  • ග්‍රාහකයාගේ ආකල්පය

ග්‍රාහකයාගේ ආකල්පය යනු, තමාට ලැබුණු සංදේශයෙන් අර්ථවත් යමක් අවබෝධ කර ගැනීමට හැකි වීමද ඒ තමාගේ දැනුම වර්ධනය කර ගැනීමට කොපමණ දුරට ඉවහල් වූයේද, එසේ නොමැති නම් මේ සංදේශය අර්ථ ශූන්‍ය එකක්ද යනාදී වශයෙන් ග්‍රහකයටම ඇතිවන අදහස්ය.

කිසියම් සංදේශයක් සම්ප්‍රේෂණය කිරීමට ප්‍රථම ග්‍රාහකයාගේ සන්නිවේදන චර්යාව ගැන දැන සිටීම වැදගත් වෙයි. තමාගේ සංදේශය නිර්මාණය කර ගැනීමටත් ඒ යවන විධික්‍රමය දැන ගැනීමට ජනමාධ්‍ය තෝරා ගැනීමටත් හැකි වන්නේ ග්‍රාහකයාගේ එකී චර්යාව ගැන අවබෝධයෙනි.මෙහිදී සන්නිවේදන චර්යාව යනුවෙන් අදහස් කරන්නේ ග්‍රාහකයාගේ රුචි අරුචිකම් සාරධර්ම ආකල්ප අවබෝධය යනාදී කරුණුය.

ග්‍රහකයාගේ ස්වභාවය තේරුම් ගැනීමේ දී සැලකිය යුතු කරුණු කිහිපයක්ම තිබේ. එනම් තම ග්‍රාහක පිරිස කියවීමට හැකි අයද කොපමණ වෙලාවක් ඔවුන් කියවීමට ගත කරනු ලැබේද ශ්‍රවණය කරන මාධ්‍ය කුමක්ද එසේ නම් ඒ කුමන වේලාවන්හිද වඩා සමීප ජනමාධ්‍ය කුමක්ද යනාදී කරුණු ගැනත් මූලික වශයෙන් දැන සිටිය යුතුය. 

සමහර ග්‍රාහකයා ඉතා සුළු වේලාවක් කියවීමටත් බොහෝ වෙලාවක් ගුවන්විදුලිය ශ්‍රවණය කිරීමට හෝ රූපවාහිනිය හෝ නැරඹීමට කැමැත්තක් දක්වති. තවත් සමහර සිය කණ්ඩායමෙන් තොරතුරු ලබාගනිති. එම නිසා ග්‍රාහකයාට උචිත වන සන්නිවේදන විධික්‍රමය වන්නේ ජනමාධ්‍යයන් ද නැතිනම් ඒ අනුව තීරණය කළ හැකි වේ වේ. ග්‍රාහකයාගේ දැනුම ආකල්ප චින්තන රටා යනාදිය ගැන සොයා බලන විට ඔහු සතු ජීවන ප්‍රතිපදාව ගැන සැලකිල්ලක් දැක්විය යුතුය.

ග්‍රාහකයා ගැන අවබෝධ කරගැනීමේදී ඔහු පොළඹවා ගත හැකි කරුණු කෙරෙහි ද අවධානය යොමු කළ යුතුය. මේකී කරුණු යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් ප්‍රතිඵල සඳහා ද භාවිතා කළ හැකිය. එහෙත් ජනමාධ්‍යවේදීන් විසින් මිනිසාගේ යහපතට හේතු වන අවස්ථා ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කළ යුතුය.

සටහන: හිමාෂා නෙත්මිණි 

Monday, December 15, 2025

සන්නිවේදකයා-Communicator

 

සන්නිවේදකයා යනු, සංදේශයක් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයා ය. පුළුල් අර්ථයෙන් සලකා බලන විට සන්නිවේදකයා යනු පුද්ගලයකු පමණක් නොව විවිධ ආයතනයක්ද විය හැකිය. ජනමාධ්‍ය ආයතනයන් වන පුවත්පත්ත ආයතන, ගුවන් විදුලිය ආයතන, රූපවාහිනිය ආයතන සන්නිවේදක තත්ත්වයෙහි ලා සැලකිය හැකිය. සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයෙකුට සන්නිවේදකයකු වීමේ ශක්තිය තිබේ. එසේ වුවත් ජනමාධ්‍යයෙහි නියුක්ත ජනිසන්නිවේදකයන්ගේ විශේෂ ගුණාංග පවතී.එක් අතකින් සලකා බලන විට ජන සන්නිවේදකයකු වීමට පුද්ගලයකු සතු චින්තනය දෘෂ්ටිමය හා නිර්මාණාත්මක ශක්තිය බලපානු ඇත.

සන්නිවේදයකයෙකුට තම සංදේශය සකස් කර ගැනීමේ දී විවිධ තොරතුරු මූලාශ්‍ර උපයෝගී කර ගැනීමට සිදු වේ. එම මූලාශ්‍රවල ඇති තොරතුරු ඒ අයුරින්ම ග්‍රාහකයාගේ අවබෝධය සඳහා යොමු කළ හැකි පුද්ගලයා හොඳ සන්නිවේදකයෙක් ලෙස සලකනු ලබයි. එයින් අදහස් කරන්නේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමය.

යම් විෂයක් පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති උගතෙකු ජනමාධ්‍යයකින් කරුණු පැහැදිලි කරන විට ඉතාමත් දීර්ඝ වශයෙන් හෝ ගැඹුරු වශයෙන් හෝ කරුණු ඉදිරිපත් කිරීමට පුළුවනි. එබඳු අවස්ථා වලදී සන්නිවේදකයාගේ කාර්යය වන්නේ තම ග්‍රාහක පිරිසට අවශ්‍ය වන වැදගත් විෂය කරුණු එම ප්‍රවීණයාගෙන් ලබා ගැනීමයි.මේ සඳහා සන්නිවේදකයාට විෂය දැනුමත් මාධ්‍ය පිළිබඳ දැනුමත් අවශ්‍ය කරුණු මතු කර ගැනීමේ විචක්ෂණ බුද්ධියක් තිබිය යුතුය.එම නිසා සන්නිවේදකයාට මනෝවිද්‍යාත්මක දැනුමත් ප්‍රායෝගික පුහුණුවත් අවශ්‍ය කෙරේ. මෙය ඒ ඒ මාධ්‍ය අනුව වෙනස් විය හැකිය.

තම ග්‍රාහක පිරිස ගැන අවබෝධයක් සන්නිවේදකයාට අවශ්‍ය වෙයි. සමහර අවස්ථාවල ග්‍රාහක පිරිසගේ ස්වභාවය අනුව සන්නිවේදකයාගේ ආකල්ප ප්‍රතිචාර වෙනස් විය හැකිය.

සන්නිවේදකය යනු විශාල වගකීමක් හා පුළුල් ක්ෂේත්‍රයක දැනුමක් ඇති පුද්ගලයකු බව පෙනේ. ඔහු තුළ කාරුණිකත්වය, හිතෛෂීභාවය, සිත්ගන්නා සුළු බව, සාධාරණත්වය වැනි ගුණාංග තිබිය යුතුය. එසේම ජනතාවගේ විශ්වාසනීයත්වය දිනා ගැනීමත් ඔහු සතු විශේෂ ගුණයකි. සන්නිවේදකයා ජනතාවගේ විඤ්ඤාණය පෝෂණය කරනු ලබන පුද්ගලයකු නිසා නිවැරදි දෘෂ්ටිමය ලක්ෂණයන්ගෙන් ද ඔහු පෝෂණය විය යුතුය. තමා විසින් කරනු ලබන්නේ ජනතා මෙහෙවරක් බව සන්නිවේදකයා නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතුය.

සටහන:හිමාෂා නෙත්මිණි 

Sunday, December 7, 2025

ඩේව්ට් කේ.බර්ලෝ සන්නිවේදන අකෘතිය


ඩේවිඩ් කෙනෙත් බර්ලෝ සන්නිවේදන විද්‍යාඥයාගේ සන්නිවේදන ආකෘතිය බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූවකි.ඔහු විසින් 1960 දී ලියන ලද 'The process of communication: An introduction to theory and practice' නැමැති ග්‍රන්ථයේදී මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.මෙහි මූලික ස්වරූපය දෙස බැලීමේදී සමාජ විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක ආකාරයෙන් සන්නිවේදනය අවබෝධ කර ගැනීමට දැරූ උත්සාහයක් සේ පෙනේ.

සන්නිවේදනය යනු ක්‍රියාවලියක් බව ඔහුගේ ඉගැන්වීමයි.ක්‍රියාවලියක් යනු එක් තැනක රැඳී පවතින්නක් නොව එය නිරන්තරයෙන්ම ඒ මේ අත ගමන් කරන්නකි.මහාචාර්ය බර්ලෝගේ සන්නිවේදන ආකෘතිය හඳුන්වන්නේ,S-M-C-R ආකෘතිය යනුවෙනි.

S-Source මූලාශ්‍රය (සන්නිවේදකයා)

M-Message පණිවුඩය

C-Channel නාලිය

R-Receiver ග්‍රාහකයා

01.මූලාශ්‍රය Source

යම් සංදේශයක් සකස් කර ගැනීමේදී එයට පාදක කරගන්නේ කිසියම් තොරතුරුු මූලාශ්‍රයකි.එම තොරතුරු මූලාශ්‍රය තෝරා ගැනීමේදී ඔහුගේ උත්තේජනය, රුචි අරුචිකම් ආදී ලක්ෂණ බලපෑමට පුළුවනි.මෙසේ විග්‍රහ කරන විට බර්ලෝ විසින් කරුණු පහක් දක්වා තිබේ.

  1. සන්නිවේදන හැකියාවන්
  2. ආකල්ප
  3. දැනුම
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය

සන්නිවේදන හැකියාවන්:සන්නිවේදකයෙකුගේ හැකියාවන් විග්‍රහ කළ හැකි වන්නේ ඔහුගේ හෝ ඇයගේ  ලිවීමේ ,කතා කිරීමේ ,කියවීමේ, සවන් දීමේ, සිතීමේ කුසලතාවන් පදනම් කරගෙනය.කෙබඳු සන්නිවේදකයකු වුවද තමන් සතු කුසලතාවන් ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත් වේ.

ආකල්ප: මෙය කරුණු තුනක් යටතේ විග්‍රහ කළ හැකිය.

  • තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.
  • වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
  • සන්නිවේදකයා ග්‍රාහකයා කෙරෙහි දක්වනු ලබන ආකල්පය.

දැනුම:සන්නිවේදකයෙකු සිය සන්නිවේදනයේ දී නිතරම උත්සාහ කරන්නේ සිය ග්‍රාහකයාට දැනුමක් ලබා දීමටයි.එසේ වුවත් මෙහිදී පැන නගින ගැටළු කිහිපයක් පවතී. 

  • තමා ප්‍රස්තුත කරගන්නා විෂය ගැන සන්නිවේදකයාට දැනුමක් පවතීද? 
  • එසේ නොවුනොත් අර්ථය නිසි පරිදි පෙළගස්වා ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඔහුට නැත. 
  • අනෙක් අතට විෂය ගැන ගැඹුරු දැනුමක් ඇත්තෙකුටද අදාළ කණ්ඩායමට හෝ ජනමාධ්‍යයක් මගින් කරුණු ඉදිරිපත් කළ හැකිද?

මෙහිදී ඔහු භාවිතා කරන භාෂාව ජනමාධ්‍ය කාලය ගැටලු උද්ගත කරයි.සන්නිවේදන විද්‍යාඥයින් අතර මේ පිළිබඳ පවතින මත කිහිපයක් ඇත. සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර සමාන දැනුම් මට්ටමක් පැවතීම අවශ්‍ය බව එක් මතයකි.අනෙක් අදහස වන්නේ සන්නිවේදකය හා ග්‍රාහකයා අතර දැනුම් පරතරයක් තිබීමද යෝග්‍ය බවයි. එසේ වූ විට ග්‍රාහකයා බැඳ තබා ගැනීමට හා විශ්වාසනීයත්වයක් ගොඩනගා ගැනීමටද එය ඉවහල් වන බවයි.

සමාජ පද්ධති: මානව සන්නිවේදන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම සිදුවන්නේ සමාජ පද්ධතියක් තුළය. එහිදී සන්නිවේදකයා තම සමාජ පසුබිම අනුව සංඥා ,සංකේත යනාදිය තෝරාගනු ලබයි. සමාජ පසුබිම, සමාජ තත්ත්වය, සමාජ සම්බන්ධය සියල්ල සන්නිවේදන කාර්ය හා සම්බන්ධ වේ.

සංස්කෘතිය:මානවයා තමා බිහි වූ සමාජය අනුගත වූ සංස්කෘතික සම්ප්‍රදායිකට අයත් වේ.ගෝත්‍රික, ග්‍රාමීය ,නාගරික යන කුමන සමාජ පරතරයකට අයත් වුවද ඔවුනට ආවේණික සංස්කෘතික ලක්ෂණ පවතී.බර්ලෝ සිය සන්නිවේදන ආකෘතියෙන් දක්වන මෙම ලක්ෂණය සන්නිවේදන විද්‍යාඥයන් අද බහුලව අවධානය යොමු කරන්නකි.සන්නිවේදනය සංස්කෘතියෙන් හෝ සංස්කෘතිය සන්නිවේදනයෙන් හෝ වෙන්කළ නොහැකි බව ඒ අනුව ගොඩනැඟුණු මතයකි.

02.පණිවුඩය Message

සන්නිවේදකය හා ග්‍රාහකයා අතර සම්බන්ධතාව ගොඩනැගෙන්නේ පණිවුඩය තුළිනි. පුද්ගලයන් දෙදෙනෙකු අතර සාරවත් සන්නිවේදනයක් ගොඩනැගෙන්නේ පණිවුඩයේ අන්තර්ගත ලක්ෂණ අනුවයි. බර්ලෝ පණිවුඩය විග්‍රහ කිරීමේදී කරුණු පහක් දක්වයි.

  1. මූලිකාංග
  2. ව්‍යුහය
  3. අන්තර්ගතය
  4. කේතය 
  5. ඉදිරිපත් කිරීම

මූලිකාංග: පණිවුඩයක් ගොඩනැගෙන්නේ එයට මුල් කරගන්නා යම් සිද්ධියක් අනුසාරයෙනි.එහි මූලික හරය කුමක්ද යන්න වටහා ගත යුතුය.

ව්‍යුහය: මෙයින් අදහස් කරන්නේ පණිවුඩයක් සකස්වීම, සංවිධානය කිරීම, ගොඩනැගීම යන්නයි.

අන්තර්ගතය: පණිවුඩයක් අර්ථවත් වන්නේ මෙහි අන්තර්ගත කරුණු අනුවය. අන්තර්ගතය දුර්වල වන්නේ නම් එය ග්‍රාහක අවධානයට හසු නොවේ.

කේතය: යමක් අප ප්‍රකාශ කරන්නේ සංකේත මුල්කරගෙනය. චිත්‍ර ,අකුරු ,ඉරි කැබිලි යනාදී විවිධ සංකේත පණිවුඩයක් සකස් කරන විට යොදා ගනී.එය නිර්මාණ ශිල්පියාගේ රුචිකත්වය අනුව ගොඩ නැගෙන්නෙනෙකි.චිත්‍ර ශිල්පියා සංගීත ශිල්පියා ගණිතඥයා තම අදහස් ප්‍රකාශයේ දී යොදා ගන්නා ක්‍රම වෙනස්ය.

ඉදිරිපත් කිරීම:ඉහත සඳහන් කරන ලද කරුණු හතරෙහිම සම්බන්ධතාව මෙයට පවතියි. පණිවුඩයක් ග්‍රාහකයාට යම් බලපෑමක් සඳහා ඉදිරිපත් කිරීමේ දී ආකෘතිය, අන්තර්ගතය මෙන්ම මාධ්‍යය ද වැදගත් වේ.යමක් ඉලක්ක කණ්ඩායමට කිව යුතු වන්නේ කෙසේද එහිදී යොදාගන්නා සන්නිවේදන විධික්‍රම කවරේද වඩාත් විශ්වාසනීයත්වයක් ඇතිකර ගත හැකි වන්නේ කෙසේද යනාදී කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.

03.නාලිය Channel

නාලිය යනු යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කරන මාධ්‍යයි. තාක්ෂණික ක්‍රම භාවිතා කොට අප යම් පණිවුඩයක් සම්ප්‍රේෂණය කල ද මානවයා අවසානයේ දී ග්‍රහණය කරගන්නේ තම පංචේන්ද්‍රිය තුළිනි.පංචේන්ද්‍රය නාලිය ලෙස බර්ලෝ ආකෘතියේදී දක්වා තිබේ.දැකීම ,ඇසීම ස්පර්ශය ,ආඝ්‍රහණය, රස බැලීම යනුවෙනි.ඇස කන නාසය දිව ශරීරය යන පංච ඉන්ද්‍රියයන් ආශ්‍රිතව නාලිකා ගැන විග්‍රහ කරයි. මේ වෙනත් සන්නිවේදන විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කළ ක්‍රමයට වඩා වෙනස් වූවකි.සන්නිවේදන විෂයේ පවතින ජීව විද්‍යාත්මක පසුබිම පිළිබඳව අධ්‍යයනය කිරීමේදී මෙම විවරණයේ වැදගත් වේ.

04.ග්‍රාහකයා Receiver

ග්‍රාහකයා පිළිබඳ විග්‍රහ කිරීමේදී කරුණු පහක යටතේ විවරණය කරයි. එහිදී 

  1. සන්නිවේදන කුසලතා
  2.  ආකල්ප 
  3. දැනුම 
  4. සමාජ පද්ධති 
  5. සංස්කෘතිය 

යන කරුණුය.මෙයින් පැහැදිලි වන්නේ සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවයි. එක් වරෙක සන්නිවේදකයකු වන පුද්ගලයා තවත් වරෙක ග්‍රාහකයෙකු බවට පත්වෙයි. එම නිසා සන්නිවේදන ක්‍රියාවලියක් යනු, සන්නිවේදක කේන්ද්‍රීය මෙන්ම ග්‍රාහක කේන්ද්‍රීයව ගොඩනැගෙන්නෙකි.මුල් අවදියේදී සන්නිවේදකයා පමණක් ඉහළ තැනක සිටින බව පිළිගත් මතයට ප්‍රතිපක්ෂව බර්ලෝ ශ්‍රාම් වැනි විද්වතුන් විසින් දක්වන ලද විග්‍රහයක් ලෙස මෙය හැඳින්විය හැකිය.බර්ලෝ තවදුරටත් විග්‍රහ කරන්නේ ග්‍රාහකයාගේ පවත්නා අධ්‍යාපන සමාජ සම්බන්ධතා සංස්කෘතික පසුබිම යනාදී කරුණද සන්නිවේදන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා උපකාරී වන බවයි.

සටහන: හිමාෂා නෙත්මිණි 



Thursday, December 4, 2025

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය

අධිපතිවාදී සංකල්පය ක්‍රි.පු 407-327 දක්වා ජීවත් වූ ප්ලේටෝ නම් දාර්ශනිකයා මෙන්ම 1587-1679 කාලය තුළ ජීවත් වූ චින්තකයන්ගේ අදහස් වලින් පෝෂණය වී ඇත.අතීතය මෙන්ම වර්තමානයේදීත් පාලකයන් තොරතුරු ආධිපත්‍යය ඔවුන් විසින් නතුකර ගැනීමට සෘජුවම හෝ වක්‍රවම කටයුතු කර ඇත අධිපතිවාදී සන්නිවේදන සංකල්පය වඩාත් පැරණි සංකල්පයකි.

මෙයින් අදහස් කරන්නේ සමාජවල සිටින නායකයින් පාලකයන් විසින් සන්නිවේදන කටයුතු හා ජනමාධ්‍ය පාලනය කර ඇති බවයි.ගූටෙන්බර්ග මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ ලිඛිත සන්නිවේදනය ඉතා ප්‍රබල වෙනසකට භාජනය විය. සමාජය පුරා තොරතුරු ගලා යාම පුළුල් විය. එතෙක් ඉතා සුළු පිරිසක් අතර පැවැති ලේඛන පරිහරණය මුද්‍රණ යන්ත්‍රය නිසා ජනතාව අතරට පත්විය. ඒ සමාජයේ මෙහෙයවන පාලකයන්ට මහත් තර්ජනයක් කිරීමට සමත් විය එම නිසා රටේ පාලකයාට හිතකරවන සේ පක්ෂපාති වීම මගින් තොරතුරු ප්‍රචාරණය කිරීමට මෙහෙයවීමට සිදුවිය. 

පැරණි ජන සමාජ වලින් මෙකී මූලික ලක්‍ෂණ
දක්නට ඇත.ඉහළ සිට පහළට ගලා එන ජන සන්නිවේදන හා මාධ්‍ය ක්‍රම ප්‍රජාතාන්ත්‍රික සමාජය තුළ පහසුවෙන් හඳුනා ගත හැකිය. සීමිත පිරිසක් විසින් පාලනය කරයි. විරෝධී ආකල්ප හා විරෝධී දේශපාලන අදහස් පැවතිය නොහැකිය. රජයේ මතවාද ප්‍රශ්න කරන විට දඬුවම් දීමට පියවර ගනියි. මාධ්‍ය වුවද පවතින ආධිපත්‍යයට නතුවිය යුතුය.
    උදාහරණ: ජර්මනියේ හිට්ලර්ගේ පාලනය

අධිපතිවාදය සන්නිවේදන සංකල්පයේ ක්‍රියාත්මක වන රටවල දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
  • රජුගේ හෝ බලපෑම් කණ්ඩායම් යටතේ සන්නිවේදනය ක්‍රියාවලිය හෝ මාධ්‍ය ක්‍රියාවලිය පාලනය කිරීම.
  • ජනමාධ්‍ය තුළ ඉහළ සිට පහළ ධූරාවලියක් ලෙස තොරතුරු ගලා යාම.
  • කතෘ මණ්ඩලයේ පාලනය කිරීම.
  • නීතිමය ක්‍රියාමාර්ග හා මාධ්‍ය පාලනය කිරීම.

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා ක්‍රම උපායන් පවතී. එනම් 
  • බලපත්‍ර ක්‍රමය 
  • වාරණය කිරීම
  • මැදිහත්වීම 
  • දඬුවම් දීම
  • බදු පැනවීම
  • කර්තෘ මණ්ඩලය මගින්
බලපත්‍ර ක්‍රමය
අධිපතිවාදී සංකල්පයේ දී බලපත්‍ර ක්‍රමයක් භාවිතා කළ යුතුය. අධිපතිවාදී සංකල්පයේ දී අවසර ගැනීම සඳහා බලපත්‍ර ලබාගත යුතුය.
අධිපතිවාදී සංකල්පය සමග එම රටවල බලපත්‍ර ක්‍රමය ආරම්භ විය.මුල් කාලීනව පුවත්පත ප්‍රචලිත වූ අතර රජය මඟින් ලබා දෙන බලපත්‍රයේ සෑම පුවත්පත්  හිමියෙකුගෙම ළඟ තබා ගත යුතුය. රජයට හානිකර හෝ පාලකයන්ට හානිකර පුවත් පල කිරීමෙන් බලපත්‍රය අහෝසි වේ. මෙමගින් රජය මගින් මාධ්‍ය පාලනය කරනු ලබයි.
ගුවන් විදුල සේවයක් පටන් ගැනීමට පුද්ගලයකු බලපත්‍රයක් ලබාගත යුතුයි. එම ලබාදෙනු ලබන්නේ සීමිත පිරිසකටය.එම සීමිත පිරිසට අයිති වන්නේ ජනාධිපතිතුමාගේ නෑදැයින් අසල්වාසීන් සහ නිලධාරීන්ය.

වාරණය 
වාරණය මගින් යම් ක්‍රියාවලියක් නවතාලීමට හැකිය. නීතිමය වාරණය හෝ නීතිමය නොවන වාරණය පවතී. අධිපතිවාදී සංකල්පයේ ලක්ෂණයක් ලෙස වාරණය පෙන්වාදිය හැකිය.එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් මුල් කාලීනව පුවත්පත සම්බන්ධව මෙම වාරණය ක්‍රියාත්මක විය. මෙහිදී ග්‍රාහකයා කුමක් ලබාගත යුතු ද යන්න පාලකයා තීරණය කරනු ලබයි. මෙහිදී අහිතකර පාලකයන් විසින් නවතා දැමීම හෝ වෙනස් කිරීම සිදු කරනු ලබයි

දඬුවම් දීම
අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වීමේදී යොදාගත් උපක්‍රමයක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.මෙහිදී අධික දඩ නියම කිරීම, සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලබාදීම දක්නට ලැබුණි.රජයට පක්ෂපාතීව කටයුතු නොකරන වූවන්ට දඬුවම් විඳීමට විය.

බදු පැනවීම
පාලකයන් තම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විවිධ ක්‍රම වලින් උපයාගත්  බදු මුදල් භාවිතා කළේය.අධිපතිවාදී  සන්නිවේදන සංකල්පයේ දී ආදායම ලැබීමට අමතරව මාධ්‍ය කටයුතු පාලනයට බදු පැනවීම විය. මෙම බදු පැනවීම තුළින් මාධ්‍ය ආයතන බිහිවීම සීමා විය තෝරා ගත් වැඩසටහන් හා පුවත්පත් සඳහා වෙන වෙනම බදු පැනවීමෙන් මාධ්‍ය පාලනය විය.

සටහන:හිමාෂා නෙත්මිණි 

Tuesday, December 2, 2025

සන්නිවේදන සංකල්ප


තාක්ෂණික විධික්‍රමයන්ගේ වර්ධනය නිසා අද ලෝකයේ කොතනක හෝ සිදුවන සිද්ධියක් වාර්තා කිරීමේ ශක්තිය ජන සන්නිවේදන මාධ්‍යයන්ට ලැබී තිබේ. එසේම විකාශනය වන එකී ප්‍රවෘත්තිවල හැඩය ද විවිධ වර්ණයන්ගෙන් සමන්විත වන බව දක්නට ලැබේ. ලෝකයේ සිදුවන සිද්ධීන් සංස්කෘතික මෙන්ම දේශපාලනික ගැටලු නිසා වාර්තා විය යුතු දේ අමිහිරි ලෙස වාර්තාවන බව දක්නට ලැබේ.

සෑම සමාජයකම පවතින නීති රීති හා අවශ්‍යතාවයන්ට අනුව ජනමාධ්‍ය පාලනයක් දක්නට ලැබේ. ඒ රටක පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය මත තීරණ වේ. සමාජය ක්‍රියාකාරීත්වය දෙස බලන විට එහි ජනයාගේ ස්වභාවය හා ජනතාව හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාව ජනමාධ්‍ය ව්‍යුහය සකස්  වීමෙහිලා බලපාන බව පෙනේ.ජනමාධ්‍ය හා සමාජය අතර දැඩි සම්බන්ධතාවයක් ගොඩනැගීමත් එයින් ඇති වූ විවිධ අදහස් මතිමතාන්දර නිසාත් මෙම සංකල්ප ගොඩනැගී ඇති බව දක්නට ලැබේ. සන්නිවේදන සංකල්ප අපි විග්‍රහ කර බැලිය යුත්තේ ජනමාධ්‍යයන්ගේ ස්වභාවය වටහාගැනීම සඳහාය. එබැවින් ඒ සඳහා බලපාන ලද ඓතිහාසික හා දේශපාලන ලක්ෂණයන් ද අවධානයට යොමු විය යුතුය.ඒ ඔස්සේ ජන මාධ්‍ය ව්‍යුහය පාලනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සන්නිවේදන සංකල්ප පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින් හඳුන්වා දී තිබේ.

සංකල්පයක් යනු, න්‍යාය යන්නයි. සන්නිවේදන සංකල්පයක් ලෙස හඳුන්වන්නේ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව හෝ කිසියම් කරුණක් සියලුම කරුණු හෝ කිසියම් කරුණක් සලකා බැලීමෙන් ඇති කරනු ලබන නිශ්චිත අදහසකි. සන්නිවේදන ක්‍රියාවලිය එක් අතකින් තාක්ෂණික ක්‍රියාවලියක ප්‍රවණතා මෙන්ම විවිධ මතවාදී බලපෑම්වලට ලක් වෙමින් වර්ධනය වූවකි.සන්නිවේදන ක්‍රියාවලිය හසුරවන්නා විසින් බෙදා හරින සංදේශ මගින් සමාජයට කෙබඳු බලපෑමක් සිදුවන්නේ ද යන්න විමසිලිමත් වේ. එය ඔවුන් විශ්වාස කරන අනුගත වන මතවාද තුල සිදුවන්නකි.

සන්නිවේදන සංකල්ප හයක් ගොඩනැගී ඇත.

  1. අධිපතිවාදී සන්නිවේදනය සංකල්පය
  2. නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
  3. සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
  4. සමාජ වගකීම් පිළිබඳ සන්නිවේදන සංකල්පය
  5. ප්‍රජාතාන්ත්‍රීකරණ සන්නිවේදනය සංකල්පය
  6. සංවර්ධන සන්නිවේදන සංකල්පය

1956 දී Four Theories of the press යන ග්‍රන්ථයෙහි රචකයන් වන විල්බර් ශ්‍රාම්,Theodore Peterson,පීබර්ට් යන අයයි.ඔවුන් තිදෙනාම ඇමරිකානු ජාතිකයන් වන අතර ඇමරිකානු දෘෂ්ටිකෝණයෙන් රචනා කර ඇත. එම කෘතියේ සඳහන් වන්නා වූ සන්නිවේදන සංකල්ප හතර වන්නේ.

අධිපතිවාදී සන්නිවේදන සංකල්පය, ස්වාධීනතා සන්නිවේදන සංකල්පය, සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය, සෝවියට් කොමියුනිස්වාදී සන්නිවේදන සංකල්පය

මේ සංකල්ප අතුරින් අධිපතිවාදී සංකල්පය ඉතාමත් පැරැණි වූත් ලෝකයේ දැනට බහුලව පැතිර පවත්නා වූත් සංකල්පයක් ලෙස සැලකිය හැකිය. කොමියුනිස්, සංසංවර්ධනාත්මක සංකල්පය විසි වැනි සියවසේ දෙවැනි දශකයේදී පමණ බිහි වූවකි. බටහිරවාදී සංකල්පය මෑතකදී හඳුන්වාදුන් ලැබුවාත් එහි අන්තර්ගත ලක්ෂණ මහාචාර්ය විල්බර් ශ්‍රාම් හඳුන්වා දුන් සන්නිවේදන සංකල්පය හතරෙහි අඩංගු වී ඇත.මේ සංකල්පවල අන්තර්ගත ලක්ෂණ බටහිර මතවාදයක් හා සමාජවාදී මතයන් පදනම් කරගෙන රාජ්‍යතන්ත්‍රී පාලනය කිරීමේ අරමුණු ඇතුව බිහි වූවකි. සංවර්ධනාත්මක සංකල්පය තුන්වැනි ලෝකයේ පවතින හීන වූ මාධ්‍ය සම්පත් නිසා ඒවායේ උද්ගතවන ගැටලු හා දුෂ්කරතාවයන් පදනම් කරගෙන ප්‍රභවය වූවකි. මේ සියලු සංකල්ප වල අන්තර්ගත ලක්ෂණ විශ්ලේෂණය කරන විට පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් රටක පවතින දේශපාලන බලපෑම් හා විවිධ වූ සංවිධානයන්හි ඇති අනුග්‍රහය හා පරිපාලනයට ජනමාධ්‍ය යට වී ඇති බවය.

සන්නිවේදන සංකල්ප තුළින් පැහැදිලි වන්නේ ද රටක දේශපාලනයේ ජනතාකරණය කරන ලදයි කියනු ලබන ජනමාධ්‍ය ආයතන රාජ්‍ය පාලනයට හසු වී ඇති බව පැහැදිලිව දක්නටට ලැබේ. එම නිසා රාජ්‍ය පාලනයට යටත්ව පවතින සමාජය අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති පාලනයද සිදු වේ.ජන මාධ්‍ය සම්බන්ධව විවිධ සංකල්ප බිහි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

සටහන: හිමාෂා නෙත්මිණි 

Tuesday, November 25, 2025

දොරටුපාල සංකල්පය

(ඩේවිඩ් මැනිං වයිට්ගේ දොරටුපාල සංකල්පය)

සන්නිවේදන ක්‍රියාවලියේදී සන්නිවේදකයා විසින් ග්‍රාහක ගත කරන පණිවිඩය යම් වාරණ ක්‍රියාවලියකට භාජනය වේ. මේ පිළිබඳ මූලික අදහස් දැක්වෙන සංකල්පයක් ලෙස ඉහත දැක්වෙන වයිට්ගේ දොරටුපාල සංකල්පය පෙන්වා දිය හැකිය.

දොරටුපාලක විසින් විවිධ ආකාර ලෙස සංදේශ වාරණයකට ලක් කරනු ඇත. සන්නිවේදන ක්‍රියාවලියේ දී සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරන සියලුම සංදේශ සංදේශ ග්‍රාහකයා වෙත ලැබෙන්නේ නැත. එනම් සංස්කරණයේ දී හෝ රූප රාමුවල ගුණාත්මක බව පිරික්සීමේදී හෝ ඇතැම් සංදේශ ඉවත්වීමක් සිදුවිය හැක.මීට අමතරව විවිධ වාරණ මණ්ඩල මගින් වාරණ බලධාරීන් මගින් ද ප්‍රවෘත්ති පාලනයකට ලක් කෙරේ.

උදාහරණ:යුද්ධය පැවති සමයේ යුධ පුවත් වාරණය.

ඩේවිඩ් මැනිං වයිට් විසින් හඳුන්වා දෙන ලද මෙම සංකල්පයේ ජනමාධ්‍ය කරණය තුළ ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රවෘත්ති මූලිකාංගයකින් N1,N2,N3,N4 යනාදී වශයෙන්  තෝරා ගන්නා ලද ප්‍රවෘත්ති මූලිකාංග හතර ජනමාධ්‍ය ආයතනයක දොරටුවක් (Gate)මගින් තෝරා ගැනීමකට ලක්කර ඇත එහිදී N2 සහ N3 යන ප්‍රවෘත්ති මූලිකාංග පමණක් තෝරා ගෙන ග්‍රාහකයා වෙත ලබාදීමට කටයුතු කර ඇතිය අතර N1 සහ N4 යන ප්‍රවෘත්ති මූලිකාංගයන් ජනමාධ්‍ය ආයතනයේ දොරටුව විසින් බැහැර කර ඇත.

ජනමාධ්‍ය ආයතනයක දොරටුව නියෝජනය කරන දොරටුපාලකයින් ගණනාවකි.එනම් අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදකවරයා, සංස්කරණ ශිල්පියා සෝදුපත් බලන්නා යනාදී සෑම භූමිකාවක්ම එහි දොරටු පාලකයෝ වෙති.

✍️හිමාෂා නෙත්මිණි 

ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...